නාය යාමෙන් විශාල පිරිසක් මඩ කන්දකට කොටුවෙති

  • 2017 අගෝස්තු 14
නාය යාම

සියෙරා ලියෝනයේ ෆ්‍රීටවුන් (Freetown) අගනුවර කඳුකර ප්‍රදේශයක නාය යාමෙන් විශාල පිරිසක් මඩ තට්ටු අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ.

ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව රීජන්ට් (Regent) ප්‍රදේශයේ කන්දක් සඳුදා (අගෝස්තු 14) නාය යාම හේතුවෙන් එම ප්‍රදේශයේ බොහෝ නිවාස මඩ තට්ටුවලට යට වූ බව එම ස්ථානයට ගොස් සිටින සිටින බීබීසී වාර්තාකරු උමාරු ෆොෆානා (Umaru Fofana) පවසයි.

මඩ කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි.

නාය යාමට කොටු වී සිටින, මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් කිසිදු තක්සේරුවක් කළ නොහැකි බව බලධාරීහු පවසති.

සබැඳි යොමු:

ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර ජනතාව දණක් උසට මඩ වතුරේ ගිලී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප ට්විටර් සමාජ ජාලය ඔස්සේ පළ කර තිබුණි.

නාය යාමෙන් අනතුරුව සිය නිවාසවල කොටු වූ පුද්ගලයන් බේරාගැනීම පිණිස බේරාගැනීමේ සේවකයන් එම ස්ථානවලට පිටත් කර තිබෙන බව Sierra Leone Telegraph පුවත්පත වාර්තා කරයි.

සියෙරා ලියෝනය නිරන්තරයෙන් ගංවතුර උවදුරට මුහුණ දෙන අතර, ඒ අවස්ථාවල අනාරක්ෂිත බොහෝ නිවාස ධාරානිපාත වර්ෂාවත් සමග ගසා ගෙන යාම ද සුලබ සිදුවීමකි.

2015 දී ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර හටගත් ගංවතුරට කොටු වී 10 දෙනෙකු මියගිය අතර, දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය.

සබැඳි විෂයයන්