පැහැරගැනීමට ලක්වූ සෞදි කුමාරවරු කෝ ?

  • 2017 අගෝස්තු 15
සුල්තාන් බින් තුර්කි කුමරු, ඡායාරූපයේ මැද Image copyright HUGH MILES
Image caption සුල්තාන් බින් තුර්කි කුමරු, ඡායාරූපයේ මැද

ගෙවී ගිය දෙවසර තුළ, යුරෝපයේ දිවි ගෙවමින් සිටි සෞදි කුමාරවරුන් තිදෙනෙක් අතුරුදන්ව ගියහ. මේ සම්බන්ධයෙන් සෞදි ආණ්ඩුව වෙත විවේචන එල්ල විණි. ඒ සියලු දෙනා පැහැරගන්නා ලදුව සෞදි අරාබිය වෙත රැගෙන ගිය බවට සාක්ෂි වුවද, ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් අසන්නට නොවීය.

මේ අතරින් එක් කුමාරයකු 2003 වසරේ ජුනි මාසයේ 12 වෙනිදා හිමිදිරි උදෑසන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට එපිටින් වූ ප්‍රදේශයක පිහිටි මාලිගයක් වෙත මෝටර් රථයෙන් පිටත්විණි.

ඒ සුල්තාන් බින් තුර්කි බින් අබ්දුල්අසිස් කුමරුය. මාලිගයේ හිම්කරුවා, කුමරුගේ මාමණ්ඩිය වූ අභාවප්‍රාප්ත ෆාඩ් රජුය. අබ්දුල්අසිස් කුමරුට උදෑසන ආහාරය සඳහා එහි ආරාධනය ලැබුනේ ෆාඩ් රජුගේ ප්‍රියතම පුත්‍රයාවූ අබ්දුල්අසිස් බින් ෆාඩ් කුමරු වෙතිනි.

යළි සෞදි අරාබියට පැමිණෙන ලෙස අබ්දුල්අසිස් සුල්තාන්ගෙන් ඉල්ලා සිටියේ සෞදි නායකත්වය සම්බන්ධයෙන් සුල්තාන් එල්ලකරන ලද විවේචන පිළිබඳ මතුවූ අර්බුදකාරී තත්ත්වය සමනය වනු ඇති බව ද ප්‍රකාශ කරමිනි.

ඒ ඉල්ලීම සුල්තාන් ප්‍රතික්ෂේප කරද්දී දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය යැයි දන්වා අබ්දුල්අසිස් ඔවුන් සිටි කාමරයෙන් නික්ම ගියේය. එහි සිටි අනෙක් තැනැත්තා වන ඉස්ලාමීය කටයුතු පිළිබඳ සෞදි අමාත්‍යවරයා වූ ෂෙයික් සලේහ් අල්-ෂෙයික් ද ඉන් පිටව ගොස් ස්වල්ප වේලාවකින් මුහුණු ආවරණය කරගත් පිරිසක් එහි වහා ඇතුළු වූහ. සුල්තාන්ට පහරදී ඔහුගේ දෑතට විලංගු ලූ පිරිස ඔහුගේ ගෙලට එන්නත් කටුවක් ඇතුළු කළහ.

ජිනීවා ගුවන් තොටුපොළට ගෙන යන ලද සිහිසුන් වූ සුල්තාන් ඒ වනවිටත් ගුවන් යානා අංගනයේ නවතා තිබූ රෝගීන් ඉවත්කරගෙන යනු ලබන ගුවන් යානයක් වෙත නැංවීය.

වසර ගණනකට පසු ස්විස් අධිකරණයකදී සුල්තාන් පිළිබඳ සිදුවීම් දිගහැරුනේ එසේය.

උදෑසන ආහාරය ගැනීමට අදාළ හමුවෙන් අනතුරුව සුල්තාන්ගේ යළි පැමිණීම අපේක්ෂාවෙන් ජිනීවාහි හෝටලයක රැදී සිටි ඔහුගේ කාර්ය මණ්ඩලය අතර සන්නිවේදන නිලධාරී එඩී ෆෙරෙයිරා ද විය.

දහවල් වනවිට එහි පැමිණියේ අනපේක්ෂිත අමුත්තන් දෙදෙනෙකි.

"හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා සමග එහි ආ ස්විට්සර්ලන්තයේ සෞදි තානාපතිවරයා එම ස්ථානයෙන් සියලු දෙනාටම ඉවත්වී පිටව යන්නැයි කීවා" යැයි ෆෙරෙයිරා පවසයි. "කුමාරයා රියාද්වල ඉන්න බවත් අපේ සේවය තවදුරටත් අවශ්‍ය නැති නිසා අපට යා හැකි බව කීවා"

ප්‍රචණ්ඩ ලෙස මත්කොට සුල්තාන් කුමාරයාව පැහැරගෙන යාමට තරම් ඔහුගේ පවුල පෙළඹ වූයේ කුමක්ද ?

ඊට පෙර වසරේදී ඔහු යුරෝපයට ආයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාය. එහිදී ඔහු සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් සෞදි ආණ්ඩුව විවේචනය කළේය. රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය හෙළාදකින අතරේදී කුමාරවරුන් හා නිලධාරීන්ගේ දූෂිතබව පෙන්වා දුන් ඔහු ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍ය බව කීය.

අබ්දුල්අසිස් ඉබ්න් සෞද් රජු 1932 දී සෞදි අරාබිය ගොඩනැගු තැන් සිට මේ දක්වාම රාජාණ්ඩුවක් විසින් එය පාලනය කරන අතර විරුද්ධ මත දරන්නන් නොරිස්සයි.

විනයාරක්ෂකයාගේ ඉරණම

Image copyright Getty Images
Image caption 2003 දී පකිස්තාන මුදල් අමාත්‍යවරයා හමුවූ තුර්කි බින් බන්ඩාර් කුමරු

වරක් සෞදි රාජකීය පවුලේ විනයාරක්ෂාව පිළිබඳ වගකීම පැවරී තිබුනේ තුර්කි බින් බන්ඩාර් කුමරු වෙතය. නමුත් උරුමය සම්බන්ධයෙන් පවුල අතර මතුවූ උග්‍ර ආරවුලක් හේතුවෙන් අවසානයේදී ඔහු සිරගත කෙරිණි. ඉන් නිදහස ලැබ පැරීසියට පලාගිය ඔහු සෞදි අරාබියට ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි පවසමින් 2012 වසරේදී යූටියුබ් (YouTube) ඔස්සේ වීඩියෝ පළකරන්නට පටන්ගත්තේය.

සුල්තාන් කුමරු සම්බන්ධයෙන් කටයුතු කළාක් මෙන් ප්‍රතිචාර දැක්වූ සෞදිය යළි පැමිණීම සඳහා තුර්කි පෙළඹවීමට උත්සාහ දැරීය. අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති අහ්මඩ් අල්-සලෙම් වෙතින් ලද දුරකථන ඇමතුම පටිගත කල කුමරු එය අන්තර්ජාලයේ පළකළේය.

"හැමදෙනාම අපේක්ෂාකරන්නේ ඔබේ යළි පැමිණීම, ඔබට දෙවි පිහිටයි" යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසයි.

"මගේ ආපසු පැමිණීම අපේක්ෂා කරනවා?" තුර්කි පිළිතුරු දෙයි. "ඔබේ නිලධාරීන් මට එවන ලිපි ගැන කියන්නේ මොනවද? 'වෛශ්‍යාවකගේ පුතා, සුල්තාන් බින් තුර්කි වගේ අපි උඹවත් ආපහු ඇදගෙන එනවා"

යළි සහතික වශයෙන් පිළිවදන් දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා : "ඒ කිසි කෙනෙක් ඔයාට අත තියන්නේ නැහැ. මම ඔයාගේ සහෝදරයා"

"නැහැ ඒ අය එවන්නේ ඔබයි" තුර්කි කියා සිටී. "ඒ අයව එවන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයයි"

2015 ජූලි මාසය වනතෙක් තුර්කි වීඩියෝ පළකිරීමේ යෙදිණි. පසුව ඒ වසර අගදී විටෙක ඔහු අතුරුදන් විය.

"මාසයකට හෝ දෙකකට වරක් එයා මට දුරකතනයෙන් කතා කළා" යැයි ඔහුගේ මිතුරකු මෙන්ම බ්ලොග්‍ රචකයකු හා ක්‍රියාකාරිකයකු වන වඑල් අල්-ඛලෆ් පැවසීය.

"ඉන්පසු මාස හතරකට හෝ පහකට එයා අතුරුදන් වුණා. මට සැකයක් දැනුණා. පසුව රාජධානියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් දැනගන්න ලැබුනේ තුර්කි බින් බන්ඩාර් ඔවුන් සමග ඉන්න බවයි. ඉතින් ඔවුන් එයාව අරගෙන, ඔහුව පැහැරගෙන"

"දීර්ඝ කාලයක් තුර්කි ගැන තොරතුරක් සොයමින් ඉන්නවිට මොරොක්කෝ පුවත්පතක පළවූ ලිපියකින් මට දැනගන්නට ලැබුනේ මොරොක්කෝවේ සංචාරයකින් පස්සේ ප්‍රංශයට යළි ඒමට සිටි ඔහුව අත්අඩංගුවට ගෙන සිරගතකොට ඇති බවයි. පසුව සෞදි බලධාරීන්ගේ ඉල්ලීමක් මත මොරොක්කෝවේ අධිකරණයේ අවසරයකින් පිටුවහල් කර ඇති බවයි."

තුර්කි බින් බන්ඩාර් ට සිදුවුයේ කුමක්ද යන්න නිශ්චිතව අප නොදන්නා නමුත් අතුරුදන්වීමට පෙර සිය මිතුරා වන වඑල් වෙත තමන් විසින් ලියන ලද පොතක පිටපතක් දී ඇති අතර අනාගත වාක්‍යයක් වැනි විය හැකි සටහනක් ඔහු එහි ඇතුළත් කොට ඇත.

"ආදරණීය වඑල්, මාව පැහැරගෙන හෝ ඝාතනය කර නැතිනම් මේ සටහන් වෙන අයෙකු අතට පත් කිරීම සඳහා නොවේ. මා දන්නවා මාව පැහැරගනීවි නැතිනම් ඝාතනය කරාවි. ඔවුන් මගේ වගේම සෞදි ජනයාගේ අයිතිය උදුරාගන්නේ කෙසේද කියාත් මා දන්නවා"


සෞදියේ ඔටුන්න හිමි කුමරු වෙනස් වෙයි

සවුදි අරාබි හිටපු රජුගේ රාජ්‍ය ප්‍රතිපත්ති දිගටම


රවටාගෙන යාම

Image caption සෞද් බින් සයිෆ් අල්-නසර්

තුර්කි කුමරු අතුරුදන්වන කාල වකවානුව තුළදී, යුරෝපයේ කැසිනෝ මෙන්ම මිල අධික හෝටලවලට ඇලුම් කළ සාපේක්ෂව සුළු රාජකීයත්වයක් සතු තවත් සෞදි කුමරෙකුවන සෞද් බින් සයිෆ් අල්-නසර් හට ද එවැනිම ඉරණමක් අත්විය.

2014 දී සෞදි රාජාණ්ඩුව විවේචනය කරමින් සෞද් ට්විටර් පණිවිඩ නිකුත් කිරීම ඇරඹීය.

ඊට පෙර වසරේදී ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහකිරීමට සහය වූ සෞදි නිලධාරීන් නීතිය හමුඅට පැමිණවිය යුතු බව ඔහු කීය.

2015 දී මේ ස්වභාවය තවදුරටත් ඉදිරියට ගෙනගිය සෞද් සල්මන් රජු බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්කල යුතු බව දක්වමින් සෞදි කුමාරයකු නිර්නාමිකව ලියු ලිපි දෙකක් ප්‍රසිද්ධියේ අනුමත කරන ආකාරයක් දැක්වීම ද්‍රෝහියකු ලෙස සළකුණු කෙරෙමින් ඔහුගේ ඉරණම තීරණය වන්නට හේතු විය හැකිය.

දින කිහිපයකට පසු "මේ ලිපිවල අන්තර්ගතය පැතිරුණු බලපෑමක් බවට හරවන්නැයි මා ජාතියෙන් ඉල්ලා සිටිනවා" යැයි සඳහන් පණිවිඩයක් පළවූ සෞද් ගේ ට්විටර් ගිණුම නිහඬ විණි.

2013 දී ජර්මනියට පළාගිය තවත් විරෝධාකල්පික කුමාරයකු වන ඛාලිඩ් බින් ෆර්හාන් විශ්වාස කරන්නේ ගල්ෆ් කලාපයේ ශාඛා ඇරඹීමක් සම්බන්ධයෙන් රසියානු - ඉතාලි සමාගමක් සමග ව්‍යාපාරික ගනුදෙනුවක් සාකච්ඡා කිරීමේ මුවාවෙන් රවටා මිලාන් සිට රෝමය බලා සෞද් පියාසර කරවූ බවය.

"සමාගමෙන් එවූ පුද්ගලික ගුවන් යානයක් සෞද් කුමරුවා රැගෙන ගියා. නමුත් එය ගොඩබෑවේ රෝමයේ නොවෙයි. එය ගොඩ බෑවේ රියාද්වලයි" ඛාලිඩ් පැවසීය.

ඔහු සඳහන් කරන්නේ "සෞදි ඔත්තු සේවය මේ සමස්ත මෙහෙයුම සැලසුම් කළා" යනුවෙනි.

"සෞද් කුමරුට අත්වුණේ තුර්කි කුමරුට අත්වූ ඉරණමට සමාන වුවක්. සිරගත් කිරීම.. පොලොව යට සිරගෙයක්" යැයි ඔහු කීය.

රාජකීය පවුල තුළින් අපරාධ චෝදනාවක්

රාජකීය පරපුරේ ඉහළ ස්ථරයක සිටි සුල්තාන් කුමරු සිරගෙයින් නිවාස අඩස්සියට පත් කෙරිණි. එහෙත් සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම නිසා ඇමෙරිකාවේ මසචුසේට්ස්හි බොස්ටන් වෙත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යාමට 2010 දී සෞදි රජ පවුල ඔහුට ඉඩ දුණි.

ඇමෙරිකාවට පිටමංව සිටි කාලය තුළ ඔහු කළ දෙය සෞදි රජ පවුල භීතියට පත්කරවන්නට ඇත. ඔහු ස්විස් අධිකරණයක් හමුවේ අපරාධ නඩුවක් ගොනු කළේ 2003 දී තමාව පැහැරගෙන යාම සම්බන්ධයෙන් අබ්දුල්අසිස් බින් ෆාඩ් කුමරු සහ ෂෙයික් සලේහ් අල්-ෂෙයික් ට එරෙහිව චෝදනා නගමිනි.

සුල්තාන් කුමරුගේ ඇමෙරිකානු නීතිඥ ක්ලයිඩ් බර්ග්ට්‍රෙසර් 2013 ජුනි 13 කුමරුවා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද රියාද්හි ෆයිසාල් රජ විශේෂඥ රෝහලෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට සමත් විය. එහි දැක්වෙන්නේ නිර්වින්දනය කළ කාලය තුළදී ශ්වසනය පහසු කිරීම සඳහා ඔහුගේ මුව තුළට නලයක් ඇතුළු කර තිබු බවය. කුමරුගේ මහා ප්‍රාචීරයේ එක් පසක් අඩපණව තිබු අතර එය පහරදීම නිසා සිදුවූවක් වියහැකි බවට සැලකිණි.

සෞදි රාජකීයයකු විසින් පවුලේ තවත් සාමාජිකයෙකුට එරෙහිව බටහිර රටකදී අපරාධ පැමිණිල්ලක් ගොනුකළ පළමු අවස්තාව මෙය වේ.

නමුත් නීතිඥ බර්ග්ට්‍රෙසර් පවසන පරිදි මේ නඩුව සම්බන්ධයෙන් ස්විස් බලධාරීන්ගේ සැළකිල්ල එතරම් යොමු වී නැත.

"ගුවන් තොටුපොළේදී වූ දෙය සෙවීමට කිසිවක් කළේ නැහැ" ඔහු පවසයි. "නියමුවන් කවුද? සෞදි අරාබියේ සිට ගුවන් යානය පැමිණෙද්දී එහි තිබු ගුවන් ගමන් සැලසුම මොකක්ද ? මේ පැහැරගැනීම වුනේ ස්විස් භූමියේදී. මේක සිද්ධ වුනේ කොහොමදැයි සොයන්න උවමනාවක් තියේවි යැයි කෙනෙකුට හිතෙනවා "

Image copyright Getty Images

2016 ජනවාරි මාසයේදී සෞද් බින් සයිෆ් අල්-නසර් මෙන් සුල්තාන් කුමරු ද රැදී සිටියේ පැරීසියේ සුඛෝපහෝගී හෝටලයකය. ඔහුගේ සැලසුම වී තිබුනේ සෞදි ආණ්ඩුව පිළිබඳ විවේචකයකු ලෙස ප්‍රකටව සිටි සිය පියා හමුවීම සඳහා ඊජිප්තුවේ කයිරෝ අගනුවර වෙත යාමය. ඔහුගේ ගමනට වෛද්‍යවරයෙකු, හෙදියන් හා ශරීරාරක්ෂකයින්ගෙන් සමන්විත ඇමෙරිකාව හා යුරෝපයෙන් එක්කරගත් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෞදි කොන්සල් කාර්යාලයෙන් සැපයිණි. 2003 දී තමාට වූ දෙය නොසළකා ඔහු එය පිළිගත්තේය.

එම ගන්නට එක්වූවන්ගෙන් දෙදෙනෙකු සිය නිර්නාමිකබව තබාගනිමින් සිදුවූ දෙය පැහැදිලි කළේ මෙසේය.

"ගුවන් යානා අංගනයට රැගෙන ගිය අප ඉදිරියේ සෞදි අරාබිය යැයි සළකුණු කළ විශාල ගුවන් යානයක් තිබුණා" එක් අයෙකු පැවසීය.

"තරමක බියජනක බවක් දැනුණා යානයේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්න බව දැක්කහම. ඒ හැමදෙනාම පිරිමි" අනෙක් තැනැත්තා සඳහන් කළේය.

යානය ගුවන්ගතවූ පසු එහි වූ කුඩා දර්ශන තිරවල පෙන්නුම් කළේ කයිරෝ දෙසට පියාසර කරන බවය. එහෙත්, පැය 2 1/2ක ගුවන් කාලයකින් පසු කුඩා තිර අක්‍රිය විණි.

සිය කුටිය තුළ සුල්තාන් කුමරු නිදිගෙනය. නමුත් යානය ගොඩබෑමට පැයකට පමණ පෙර ඔහු අවදි විය. යානයේ කවුළුවෙන් පිටත බැලූ ඔහු වෙතින් කැළඹුණු ස්වභාවයක් පළවූ බව ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෝ පැවසූහ.

ගුවන් යානය සෞදි අරාබියට ගොඩබෑමට ආසන්නය. නියමු කුටියේ දොරට තඩි බෑ සුල්තාන් කුමරු උදව් ඉල්ලා කෑ ගැසීය. යානයේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු සුල්තාන් කුමරුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අසුන්වල රැදිය යුතු බවට අණ දුණි.

"කවුළුවලින් පිටත බැලූ අප දැක්කේ පිටතට ගිය රයිෆල් ගත් පිරිසක් යානය වටකොට සිටින ආකාරයයි" කුමරුගේ කණ්ඩායමේ එක් අයෙකු පැවසීය.

සෙබළු සහ යානයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සුල්තාන් කුමරු ඇදගෙන ගියහ. ඇමෙරිකානු තානාපති කාර්යාලය අමතන ලෙස කුමරු කෑගසා සිය කණ්ඩායමෙන් ඉල්ලීය.

කුමාරයා මෙන්ම ඔහුගේ වෛද්‍ය කණ්ඩායම මින්දිරයක් වෙත රැගෙන ගොස් අවිගත් රැකවලුන් යටතේ තැබිණි. අනෙක් පිරිස ගුවන් යානය තුළ නොසන්සුන්ව සිටියහ. පසුව හෝටලයකට රැගෙන ගිය එම පිරිස ගමන් බලපත්‍ර හෝ දුරකතන රහිතව දින තුනක් එහි රඳවා තබා පසුව තමන් කැමති ගමනාන්තයක් වෙත ගුවන්ගතවීමට ඉඩ සැලසිණි.

එසේ ඔවුන් පිටත්ව යාමට පෙර එක් සෞදි නිලධාරියකු (කුමරුගේ කාර්ය මණ්ඩලය හඳුනාගත් පරිදි ඔහු අදාළ යානයේ 'ගුවන් සේවකයකු' විය) ඔහුන්ගෙන් සමාව ඉල්ලීය.

"ඔහු කීවේ, අපි වැරදි තැනක වැරදි වෙලාවේ සිටි බවයි. සිද්ධ වුනු අපහසුතාවට ඔහු කනගාටුව පළකළා" එක් අයෙකු කීය.

අනෙක් තැනැත්තා පැවසුවේ "මම අපහසුවට පත්වුනා නෙවෙයි, මාව පැහැරගත්තා. මා යන්නට බලාපොරොත්තු නොවූ රටක මගේ කැමැත්තට පිටින් මාව රදවාගත්තා" යනුවෙනි.

එය පුදුමසහගත සිදුවීමකි. සුල්තාන් කුමරු සමග විදේශිකයින් 18 දෙනෙකු පැහැරගන්නා ලදුව සෞදි අරාබියට ගෙන ගොස් එරට හමුදාව විසින් රදවා ගනු ලැබීය.

එම සිදුවීම්වලින් අනතුරුව සුල්තාන් කුමරු පිළිබද තොරතුරක් නැත.

මේ චිත්‍රපටයෙන් නැගෙන චෝදනාවලට ප්‍රතිචාරය කුමක්දැයි මා සෞදි ආණ්ඩුවෙන් විමසීමක් කළා. එයට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළා.

Image caption ඛාලිඩ් කුමරු

මේ අතර, තමන්ට ද සෞදිය වෙත යළි පිටත්වීම සඳහා බලපෑම් එල්ලවනු ඇතැයි ජර්මනියට පිටමංව සිටින ඛාලිඩ් කුමරු කනස්සල්ල පළකරයි.

"අපේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් යුරෝපයේ හිටියා. පවුලත් සෞදි අරාබියේ ඔවුන්ගේ පාලනයත් අප විවේචනය කළා. අපෙන් තුන් දෙනෙක් පැහැරගෙන. ඉතිරිවෙලා ඉන්නේ මං විතරයි" ඔහු පවසයි.

පැහැරගැනීම් ලයිස්තුවේ මීළඟට සිටින තැනැත්තා ඔහු විය හැකිද ?

"දීර්ඝ කාලයක ඉඳලා මට ඒත්තු ගැන්විලා තියෙනවා. ඔහුනට එය කරන්නට පුලුවන්නම් මේවනවිටත් ඔවුන් එය කරලා. මම බොහොම අවධානයෙන් ඉන්නේ, ඒ වෙනුවෙන් මගේ නිදහසින් වන්දි ගෙවන්න වෙනවා"

(රීඩා එල් මාවි, බීබීසී ලෝක සේවයට සකස් කළ වාර්තාවක් ඇසුරිණි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්