සියෙරාලියෝන්; අතුරුදහන් සංඛ්‍යාව හයසීයක්

  • 2017 අගෝස්තු 16
Image copyright Reuters
Image caption අත් නොහරින බේරා ගැනීමේ මෙහෙයුම

සියෙරාලියෝනයේ 'ෆ්‍රී ටවුන්' (Freetown) අගනුවරින් කොටසක් විනාශ කෙරුණ ගංවතුරින් සහ මඩ නාය යාමෙන් මේවනවිට අතුරුදහන් ජන සංඛ්‍යාව හයසීයක් පමණ වෙතැයි ජනාධිපති ප්‍රකාශකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

ගංවතුරින් සහ මඩ නාය යාමෙන් සමස්ත ප්‍රජාව විපතට පත් බව ඉන්පෙර ප්‍රකාශ කළ සියෙරාලියෝන් ජනාධිපති අර්නස්ට් බයි කොරෝමා, හදිසි ආධාර සපයන මෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.

විපතට ගොදුරු වූවන් හාරසීයකට ආසන්න මළසිරුරු සංඛ්‍යාවක් සුසාන භූමි හතරක අද (අගෝස්තු 16) මිහිදන් කිරීමේ සැලැස්මක් පෙරට යමින් ඇති බවත් සියෙරාලියෝනයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

අගනුවර මෘත ශරීරාගාර මළ සිරුරුවලින් පිරී ඇති බවත් වාර්තා වෙයි.

Image caption මළ සිරුරු ඉවත්කර ගනිමින්

බේරා ගැනීමේ මෙහෙයුම් 'කාලය සමඟ සිදු කරන පොර බැදීමක්' බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය අනතුරු අඟවයි.

සියෙරාලියෝන් ජනාධිපති ප්‍රකාශකයා බීබීසියට වැඩි දුරටත් අදහස් දක්වමින්, මඩ වලට යට වූ පුද්ගලයන්ගේ මළ සිරුරු ඉවතට ඇද ගැනීම තවමත් සිදු වෙමින් ඇති බවත් සඳහන් කළේය.

"අපේ ජනතාව තාමත් වැලපෙනවා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්,සහෘදයන් නැතිවුනා. නැති වූ ගණන හයසීයකටත් වැඩියි" ජනාධිපති ප්‍රකාශකයා සඳහන් කළේය.

ගංවතුරින් සහ මඩ නාය යාමෙන් අනතුරුව කොලරාව සහ උනසන්නිපාතය වැනි ජලයෙන් බෝවෙන වසංගත රෝග මැඩලීමේ සැලැස්මක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Image caption සිය සහෘදයන් අහිමි ජනතාව බලාසිටින ආකාරය

සියෙරාලියෝනය මේ විපත වෙනුවෙන් දවස් හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.