ගංවතුරේ ඉන්දියාවට ගිය රයිනෝ පැටියා යළිත් නේපාලයට

  • 2017 අගෝස්තු 20
Image copyright Iswor Joshy
Image caption නේපාලයෙන් ඉන්දියාවට ගිය රයිනෝ පැටියා

ගංවතුරට හසුව ඉන්දියාවට ගසා ගෙන ගිය නේපාල රයිනෝ ජීවියා බේරා ගනු ලැබ යළි මව්බිමට ගෙන ආ බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

තනි අඟක් සහිත එම 'රයිනෝ' වඳ වී යාමේ අනතුරට මුහුණ දී සිටින වර්ගයකට අයත් බවත් පැවසෙයි.

නේපාලයේ 'චිත්වාන්' ජාතික වනෝද්‍යානයේ වාසය කළ ගැහැණු සතකු වූ 'රයිනෝ' සැඩ ජළ පහරට හසුව පාවී ගොස් නතර වී තිබුණේ කිලෝමීටර් 42 ක් ඈතින් පිහිටි 'බගාහ්' (Bagah) නම් ඉන්දියානු ගම්මානය තුළයි.

'චිත්වාන්' ජාතික වනෝද්‍යානයට අයත් තවත් රයිනෝ හතර දෙනෙක් සොයා ගත යුතුව ඇති අතර, ගංවතුරට හසුව මරණයට පත් එක් රයිනෝ ජීවියකුගේ සිරුර හමු වී ඇත.

'චිත්වාන්' වන උයනේ හයසීයකට අධික රයිනෝ ජීවීහු ජීවත් වෙති.

පසුගියදා ඇති වූ බිහිසුණු ගංවතුර රයිනෝ මෙන්ම අලි ඇතුන්ට ද විශාල ජීවිත තර්ජනයක් විය.

ඉන්දියාවට ගසා ගෙන ගිය අවුරුදු දෙක හමාරක් වයසැති ඉහත කී රයිනෝ පැටියා ආපසු ගෙන ඒම සඳහා හතළිහක පමණ නේපාල කණ්ඩායමක් නිරත කරනු ලැබ තිබුණි.

Image copyright Iswor Joshi
Image caption බේරා ගැනීමේ මෙහෙයුමට මිනිසුන් හතළිහක්

"ඉන්දියානු වන ජීවී නිලධාරීන්ගේ ද උදව් ඇතිව රයිනෝ පැටියා ආපසු ගෙන ඒමට අපි සමත් වුනා" චිත්වාන් වන උයනේ නියෝජ්‍ය පාලක නුරේන්ද්‍ර අර්යාල් බීබීසී නේපාල අංශයට ප්‍රකාශ කළේය.

"බේරා ගැනීමේ මෙහෙයුම නරඹන්න සිය ගණනක් ජනතාව එකතු වෙලා හිටියා" ඔහු පවසයි.

අනතුරට පත් රයිනෝ සොයාගනු ලැබ තිබෙන්නේ 'බගාහ්' (Bagah) ඉන්දියානු ගම්මානයේ උක් වගාවක රැඳී සිටියදීය.

ඉන්දියාවට ගසාගෙන ගොස් ඇති තවත් නේපාල රයිනෝ දෙදෙනෙක් ව්‍යාඝ්‍රයන් සඳහා සංරක්ෂිත භූමියක සිටින අතර ගංවතුර බැසගිය විට ඔවුන් ආපසු ගෙන ඒමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව 'චිත්වාන්' වන උයනේ නියෝජ්‍ය පාලක නුරේන්ද්‍ර අර්යාල් පවසයි.

මෝසම් කාලයේ ජූනි සහ සැප්තැම්බර් අතර මාසවල ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව හැම අවුරුද්දකම පාහේ කලාපයේ ගංවතුර උවදුරුවලට හේතු වෙයි.

Image copyright iswor Joshi
Image caption ආවේ ගංවතුරේ-ආපසු ගෙදර යන්නේ ලොරියකින්

ඇසෑම් ප්‍රාන්තයේ "කශිරන්ගා" ජාතික වනෝද්‍යානයත් මෙවර මෝසම් වැස්ස සමඟ ඇති වූ ගංවතුරට යට වූ අතර එමගින් 'රයිනෝ' හය දෙනෙක් දියේ ගිලී මරණයට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.