වෙඩි හඬ යට කළ ගී හඬ : ඇෆ්ඝනිස්තානයේ 'කිම් කර්ඩාෂියාන්'

  • 2017 අගෝස්තු 21
අර්යානා සයීඩ් Image copyright ARYANA SAYEED/FACEBOOK

දශක ගණනාවක් මුළුල්ලේ යුද ගැටුම්වලට මැදි වී සිටින ඇෆ්ගනිස්තානය තාලිබාන් සහ අල් කයිඩා වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල බලපෑමට යටත්ව තිබෙන රටකි.

තාලිබාන් සංවිධානය කලක් රටේ විශාල ප්‍රදේශයක් පාලනය කළ අතර, එකල එම ප්‍රදේශවල කාන්තා අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි කරනු ලැබ තිබුණි.

තාලිබාන් පාලනය යටතේ දැරියන්ට පාසල් යාම පවා තහනම් වූ අතර, තරුණියක් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම යනු එකල කිසිසේත්ම අදහාගත හැක්කක් නොවීය.

තාලිබාන් පාලනය පෙරලා දමනු ලැබ ඇතත්, එම සංවිධානය තවමත් රට පුරා ඇතැම් ප්‍රදේශවල ආණ්ඩුවට එරෙහිව සටන් වදිමින් සිටියි.

එවැනි වාතාවරණයක් යටතේ ගතානුගතිකවාදීන්ගෙන් එල්ල වූ බරපතල විරෝධය සහ ප්‍රහාරයක් එල්ල කරන බවට නැගුනු තර්ජන ද නොතකා පොප් ගායිකා අර්යානා සයීඩ් ගේ (Aryana Sayeed) ප්‍රසංගයක් වෙනුවෙන් සිය ගණනක් තරුණ තරුණියන් කාබුල් අගනුවර ප්‍රසංග ශාලාවකට රැස්ව සිටීම විශ්ෂ සිදුවීමකි.

අගනුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති ප්‍රසංගය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණු බව එහි සිටින බීබීසී ඇෆ්ඝන් භාෂා සේවයේ කලීල් නූරි වාර්තා කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අර්යානා : ඇෆ්ඝන් පොප් තරුව

පසුගිය මාස කිහිපය ඇතුළත පවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකට මුහුණ දුන් කාබුල් නගරයට එය සැබවින්ම දුලබ සුන්දර මොහොතක් විය.

ඇෆ්ඝනිස්තානයේ නිදහස් දිනය (අගෝස්තු 19) සැමරීම් වස් සංගීත ප්‍රසංගය අගනුවර ඝාසි (Ghazi) ක්‍රීඩාංගනයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණු නමුත් එහි ආරක්ෂාව සහතික කළ නොහැකි බව බලධාරීහු පැවසූහ.

ඒ වන විට ඉතා ඉහල මුදලක් ගෙවමින් ප්‍රවේශපත්‍ර 3000 ක් ද අලෙවි වී තිබුණි.

කෙසේ නමුත් අර්යානා සයීඩ් සිය උත්සාහය අත්නොහැරියාය.

විවෘත ක්‍රීඩාංගණය වෙනුවට ඇය වෙනත් කුඩා ශාලාවක් තෝරා ගත්තාය.

සංගීත ලෝලීහු ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.

"මෙතරම් තර්ජන තිබිලත්, මෙතරම් තරුණියෝ පිරිසක් ඒවි කියල මම නම් හිතුවේ නෑ. වාසනාවකට, එතන පිරිමින්ට වඩා කාන්තාවෝ හිටියා," සංගීත සංදර්ශනයට සහභාගි වූවෙක් පැවසීය.

"ඇයි ආවේ කියල මම ඒ තරුණියන්ගෙන් ඇහුව. ප්‍රසංගයට විරුද්ධව එල්ල වුනු තර්ජන නිසාම ආව කියලයි එයාල කීවේ."

Image copyright ARYANA SAYEED/FACEBOOK

සබැඳි යොමු:

'ඇෆ්ගනිස්තානයේ කිම් කාඩේෂියන්' ලෙසින් සංගීතලෝලීන් හඳුන්වන අර්යානා, සිය දිගු කොණ්ඩය සහ ඇඟටම ඇලෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන්නීය. එය ගතානුගතිකවාදී ඇෆ්ගනිස්තාන සමාජය තුළ බොහෝ විට අවඥාවෙන්බැහැර කෙරෙන්නෙකි.

දාරි සහ පෂ්ටෝ යන ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන භාෂා දෙකෙන්ම ගී ගයන අර්යානා සිය ගීත සඳහා බොහෝ විට සාම්ප්‍රදායික සහ ජන සංගීතයේ සුසංයෝගයක් යොදා ගන්නීය.

සංගීතය සහ උත්සව යනු මූලික මිනිස් අවශ්‍යතාවක් බව අවධාරණය කරන පොප් ගායිකාව, යුද ගැටුම්වලින් හෙම්බත්ව විනෝදය අත්‍යවශ්‍යව සිටින සිය රටවැසියන්ට සතුටක් ලබාදීම සිය එකම අරමුණ බව බීබීසී යට කියා සිටියාය.

එහෙත් ඇයගේ ඇඳුම් පැළඳුම් සහ සංගීත සංදර්ශන ඇෆ්ගනිස්තානයේ සංස්කෘතියට අපහාසයක් බව පවසමින් තවමත් ඇයට නිරන්තයෙන් මරණ තර්ජන එල්ල වේ.

සිය ප්‍රසංගයෙන් උපයන මුදල දකුණු ඇෆ්ඝනිස්තානයේ සර්-ඒ-පුල් (Sar-e-Pul) පළාතේ මිර්සා ඔලොන්ග් (Mirza Olong) ගම්මානයට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකදී ඝාතනයට ලක්වූවන් වෙනුවෙන්ගේ පවුල්වලට ප්‍රදානය කරන බවත් 'ඇෆ්ඝනිස්තානයේ කිම් කාඩේෂියන්' අර්යානා සයීඩ් වැඩිදුරටත් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර