බාසිලෝනා ප්‍රහාරය: සැකකරු වෙඩි තබා මරා දැමෙයි

  • 2017 අගෝස්තු 21
Image copyright Catalan police/El Pais

පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 17) බාසිලෝනා අගනුවරට ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන සැකකරු යූනස් අබූයකූබ් වෙඩි තබා ඝාතනය කළ බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි.

අගනුවර ජනාකීර්ණ වීදියක් වෙත රිය පදවා පදිකයන් දහතුන් දෙනෙකු ඝාතනය කළ රියදුරු ඔහු බව ස්පාඤ්ඤ පොලිසියේ විශ්වාසය වී තිබේ.

යූනස් අබූයකූබ් නමැති සැකකරු පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබ ඇත්තේ බාසිලෝනා අගනුවරට සැතපුම් 25 ක් පමණ බටහිරින් පිහිටි ඉන්ධන පිරවුම් හලකදීය.

ඔහු සම්බන්ධයෙන් තමන්ට ඔත්තුවක් ලැබුණු බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි.

මරාගෙන මැරෙන ව්‍යාජ බඳ පටියක් ඇඟලා සිටි ඔහු එම අවස්ථාවේ අල්ලා හුවක්බර් යනුවෙන් කෑ ගසා ඇති බවත් වාර්තා වේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් දහතුන් දෙනෙකු මරණයට පත් වූ අතර සියයකට අධික පිරිසක් තුවාල ලැබීය.

Image copyright AFP
Image caption සැකකරු සම්බන්ධයෙන් තමන්ට ඔත්තුවක් ලැබුණු බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි

යූනස් අබූයකූබ් නැමැත්තා එම ස්ථානයෙන් පළා ගොස් නගර සීමාව ආසනයේ දී රියදුරෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර ඔහුගේ මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බව බලධාරීහු පවසති.

පිහි පහර කෑ එම රියදුරා මරණයට පත්ව ඇති බවත් බලධාරීහු කියා සිටියහ.

සිකුරාදා (අගෝස්තු 18) පෙරවරුවේ ස්පාඤ්ඤයේ කැම්බ්‍රිල්ස් ප්‍රදේශයේ සිටි පදිකයන් වෙත තවත් මෝටර් රථයක් පදවාගෙන විත් එල්ල කළ දෙවන ප්‍රහාරයෙන් කාන්තාවක් මරණයට පත් විය.

එහිදී ජිහාඩ්වාදීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර