කන්‍යාභාව පිරික්සුම නතර කරන්න - ඇෆ්ඝන් මානව හිමිකම් කොමිසම

  • 2017 අගෝස්තු 22
Image copyright AFP
Image caption කන්‍යාභාව පිරික්සුමට භාජනය කරන කාන්තාවන් දෙස සමාජය බලන්නේ වපර ඇසිනි

කාන්තාවන්ගේ කන්‍යාභාවය පිරික්සීමේ වැඩ පිළිවෙල නතර කිරීමට පියවර ගන්නා ලෙස ඇෆ්ගනිස්තානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසම එරට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

තරුණියන් සිය කුමාරිච්ඡදයට හානි සිදුකර ගෙන ඇද්ද යන්න පිරික්සීම ඇෆ්ඝන් සමාජය තුළ වේගයෙන් පැතිර යමින් ඇති පුරුද්දක් බවට පත්ව ඇති බව ස්වාධීන මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

ස්වාධීන මානව හිමිකම් කොමිසම සඳහන් කරන ආකාරයට එය බහුලව සිදු කෙරෙන්නේ කාබුල් අගනුවර සහ වෙනත් ප්‍රධාන නගරවලයි.

කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදු කරන කුමාරිච්ඡද පිරික්සුම ලිංගික අපචාරයකට සමාන ක්‍රියාවක් වන බවත් එම කොමිසම කියා සිටියි.

කන්‍යා භාව පිරික්සුම් සඳහා වැඩි වශයෙන් යොමු කරනු ලබන්නේ පිරිමියකු සමඟ සිටියදී පොලිසිය විසින් රඳවා ගනු ලබන තරුණියන්ය.

පෙම්වතුන් සමඟ රහසින් පළා ගොස් සිටියදී අල්ලා ගනු ලබන පෙම්වතියන්ද කුමාරිච්ඡද පිරික්සුමට භාජනය කෙරෙති.

Image caption කන්‍යාභාව පිරික්සුමට එරෙහි ඉන්දීය කාන්තා හඬ

සිය නම සඳහන් නොකළ ඇෆ්ඝන් කාන්තාවක් බීබීසියට අදහස් දක්වමින්, කුමාරිච්ඡද පිරික්සුම සඳහා බලහත්කාරයෙන් යොමු කරනු ලැබීම කෙබඳු මානසික ව්‍යාකූලත්වයක් ඇති කරන්නේද යන්න සිය අත්දැකීමෙන් පැහැදිලි කළාය.

" ඒ ගොල්ලෝ මට කිව්වා- ඔවුන්ට මගේ කන්‍යාභාවය ගැන සැකයක් තියෙනවා කියල. ඒ නිසා මගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්න අවශ්‍යයි කිව්වා. මම ලිංගිකව හැසිරිලා තියෙනවද නැද්ද කියල තහවුරු කර ගන්න තියෙන එකම ක්‍රමය එම පරීක්ෂණය බවයි ඔවුන් සඳහන් කළේ"

කිසිවකු සමඟ ලිංගික සබඳතා පවත්වා නැති අතරවාරයේ කුමාරිච්ඡද පිරික්සුමට භාජනය කරනු ලැබීම හේතුවෙන් තමා මහා මානසික කම්පනයකට ඇද හෙළන ලද බවත් එම කාන්තාව කියා සිටින්නීය.

කාන්තාවන් එවැනි පිරික්සුමකට ලක් කරනු ලැබීම ඔවුන්ගේ සමස්ත ජීවිත කාලයටම බලපාන කැළලක් වෙන බව ඇෆ්ගන් සමාජ ක්‍රියාධරයෝ පෙන්වා දෙති.