බ්‍රසල්ස්හි පිහි ප්‍රහාරයක්, බකිංහැම් මාලිගය අසලදී අයෙකු අත්අඩංගුවට

  • 2017 අගෝස්තු 26
Image copyright Thomas da Silva Rosa‏
Image caption පිහි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා බ්‍රසල්ස් අගනුවර ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය

බෙල්ජියමයේ හමුදා සාමාජිකයන්ට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පිහියක් ළඟ තබා ගත් තවත් අයෙකු ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසල දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හමුදා සාමාජිකයන්ට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා බෙල්ජියමයේ බ්‍රසල්ස් අගනුවර ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සෝමාලි සම්භවයක් සහිත බෙල්ජියම් ජාතිකයෙකු වන එම පුද්ගලයා අගනුවර මධ්‍යයේ දී ප්‍රහාරය දියත් කරමින් "අල්ලාහු අක්බර්" යනුවෙන් හඬ ගා ඇත.

එම් ප්‍රහාරය ත්‍රස්ත ඝාතන තැතක් ලෙස සලකා කටයුතු කරන බව බෙල්ජියමයේ නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රහාරයට ගොදුරු වූ හමුදා සාමාජිකයන් ස්වල්ප වශයෙන් තුවාල ලබා තිබේ.

බ්‍රසල්ස් සහ ප්‍රංශයේ පැරිස් අගනුවර ඉලක්ක කර ජිහාඩ්වාදීන් විසින් පසුගිය කාලයේ එල්ල කරන ලද වෙඩි සහ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව හමුදා සාමාජිකයෝ බ්‍රසල්ස් අගනුවර තුළ දෛනිකව මුර සංචාරයේ යෙදෙති.

පසුගිය ජුනි මාසයේ දී හමුදාව විසින් සැක සහිත මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

බකිංහැම් මාලිගය අසල

මේ අතර ප්‍රමාණයෙන් විශාල පිහියක් සිය මෝටර් රථයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසල දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ත්‍රස්ත මර්දන පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඔහුගේ මෝටර් රථය තුළ පිහියක් තිබෙනු පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීමෙන් අනතුරුවය.

ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට සුළු තුවාල සිදු වී ඇති බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පැවසීය.

සැකකරු ද එහි දී තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු රෝහලක් වෙත රැගෙන යනු ලැබීය.

එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිඳු සාමාජිකයෙකු බකිංහැම් මාලිගයේ සිට නොමැති අතර විසි හය හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර