කටාර්: තර්ජන මැද කෘෂි විප්ලවයකට

  • 2017 ඔක්තෝබර් 5
Image copyright Getty Images

ගල්ෆ් රටවල් කීපයක් පසුගියදා කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා අත්හිටවනු ලැබීම විසිහත් ලක්ෂයක් පමණ ජනගහණයකින් යුත් එම කුඩා දේශයට දැඩි අභියෝගයක් විය.

සෙසු සැපයුම් මෙන්ම ආහාර සැපයුම අතින් ද එය කටාරයට දුෂ්කර අවස්ථාවක් උදා කළේය.

කටාරය පශු පාලනය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන සමාජයකි.

ආහාර පැත්තෙන් බලන විට ගව සම්පත මත යැපෙන කටාරයට ගවයින්ගෙන් තොරව රටේ ආහාර ඉල්ලුම සපුරාලීම විශාල අභියෝගයක් වී ඇත.

මේ තත්වය බෙහෙවින් දැනෙන්නට පටන් ගත්තේ මේ වසරේ ජූනි මාසයේ පස් වෙනිදා සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේන් සහ ඊජිප්තුව යන රටවල් කටාර් දේශය සමඟ සම්බන්ධතා අත්හිටවනු ලැබීමත් සමඟයි.

අසල්වැසි රටවල් විසින් තමන් තනි කරනු ලැබීම සැලවීමත් සමඟ කලබල වූ කටාර් වැසියෝ වහාම ක්‍රියාත්මක වෙමින් විශේෂයෙන් එළකිරි සහ වෙනත් කිරි නිෂ්පාදන ගබඩා කර ගැනීමේ උත්සාහයක නිරත වූහ.

ඊට හේතුව තම රටේ පාරිභෝජනය කෙරෙන එළකිරි සහ වෙනත් කිරි නිෂ්පාදන සියල්ලම මෙන් සෞදි අරාබියෙන් සහ එක්සත් එමීරයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ වන හෙයින් එම භාණ්ඩවල විශාල හිඟයක් ඇතිවෙන බව මහජනතාව තේරුම් ගැනීමයි.

Image copyright Thangavel Niroshan
Image caption ගල්ෆ් අර්බුදය සමඟ භාණ්ඩ රැස් කරන පාරිභෝගික ජනතාව

කටාරය බාහිර ලෝකය සමඟ ගොඩබිමින් සම්බන්ධ කෙරෙන එකම මාවත සෞදි අරාබියට වැටී ඇති අතර 'රියාද්' බලධාරීන් විසින් එම මාවතත් වසා දැමීමත් සමඟ රටට අවශ්‍ය කිරි නිෂ්පාදන ඇතුළු සියලු ආනයන භාණ්ඩ තුර්කිය, ඉරානය සහ වෙනත් රටවලින් වැඩි මිලක් ගෙවමින් ගෙන්වා ගැනීමට 'ඩෝහා' බලධාරීන්ට සිදුවිය.

එවැනි තත්වයක් යටතේ තම ජනතාව මුහුණ දෙන අනාරක්ෂිතභාවය කටාර් බලධාරීන් එම අවස්ථාවේ හොඳින් වටහා ගත් අතර, ආහාර අතින් 'තම නිෂ්පාදන මත රඳා පැවැත්මේ' උවමනාවත් ඔවුහු තේරුම් ගත්හ.

කටාරයේ කිරි නිෂ්පාදනය සහ බෙදා හැරීමේ නිරත පෞද්ගලික ව්‍යාපාරයක් වන 'බලද්නා' (Baladna) සමාගම විසින් මෑතදී යුරෝපයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හයසීයකට අධික කිරි ගවයන් ආනයනය කරන ලද්දේ එවැනි පසුබිමක් තුළයි.

'බලද්නා' (Baladna) ව්‍යාපාරය විසින් ගවයන් සඳහා කාන්තාරය මැද දැනට පවතින පහසුකම් වලට අතිරේකව අලුතින් ශීත ගෙවල් ඉදි කරනු ලැබීමේ යෝජනාවක් පෙරට තබා ඇත.

කෙසේ වුවද, තවත් ගවයන් 13,000 කට හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් රඳවා තැබීම සඳහා වඩාත් දියුණු පහසුකම් සම්පාදනයට එම සමාගම කටයුතු කරයි.

'බලද්නා' (Baladna) ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore) බීබීසියට ප්‍රකාශයක් කරමින්, මේ වසර ඇතුළත තවත් ගවයන් 3000 ක්ද, ලබන වසරේ මුල් භාගය තුළ තවත් ගවයන් 10000 ක් ද ගෙන්වීමේ සැලැස්මක් ඇතැයි කියා සිටියේය.

Image copyright IRANAIR
Image caption ගල්ෆ් අර්බුද අමයේ ඉරානයෙන් කටාරයට ගුවනින් ආහාර ආධාර සපයනු ලැබුණි

දාහතර දහසක් පමණ වූ එම ගව සම්පත මගින් 2018 මැයි මාසය වන විට දිනකට කිරි ටොන් තුන්සීයක් නිෂ්පාදනය කරනු ඇතැයි ඇස්තමේන්තු කරන ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore), ඒ සමඟ කිරි පාරිභෝජනය අතින් කටාරය 'තමන් මතම යැපෙන' තත්වයක් නිර්මාණය වෙන බව පෙන්වා දෙයි.

"ආහාර අතින් තමන් මතම යැපීමේ උවමනාව සම්බන්ධයෙන් කටාරය තුළ දැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා. ඒ සඳහා යොමු වීමේ සැලැස්මක් අපටත් තියෙනවා. පසුගියදා ගල්ෆ් රටවල් කීපයක් විසින් පනවන ලද තහනමත් එක්ක ඒ ගමන තවත් ඉක්මන් කෙරුණා. දැන් අපට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපි එකෙන් ප්‍රයෝජන ගන්න අවශ්‍යයි" ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore) පවසයි.

ඉහත කී නව වැඩ පිළිවෙළ මේ වසරේ අවසානය වන විට සම්පූර්ණ කෙරෙන අතර එය ගල්ෆ් කලාපයේ විශාලතම කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය බවට පත් වනු ඇත.

ඒ සඳහා සිදු කරනු ලබන සමස්ත ආයෝජනය කටාර් රියාල් කෝටි තුන්සීයක් (අමෙරිකානු ඩොලර් කෝටි නවයක් පමණ) වනු ඇත.

'බලද්නා' (Baladna) ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore) අයර්ලන්ත ජාතිකයකු වන අතර ඔහු කටාරයට විශේෂයෙන්ම ගෙන්වා ඇත්තේ ඉහත කී ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමටයි.

"තහනම බල පැවැත්වීමට පෙර කටාරයේ දෛනික කිරි පරිභෝජනයෙන් 80-85% ක් ඇති රඳා පැවතුණේ සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීරයෙන් සිදු කෙරෙන ආනයන මතයි. ස්ථාවර මහා පරිමාණයේ සමාගම් අතේ තිබුණ එම සැපයුම සාර්ථකව ඉටු කිරීම දුෂ්කර කාර්යයක්. ඒත් ඒ වගකීම භාර ගන්න අපි සූදානම්. අපි විශ්වාස කරනවා - අපට ඒක කරන්න පුළුවන් කියල" ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore) අවධාරණය කරයි.

Image copyright AFP
Image caption අර්බුද සමයේ වතුර එක්රැස් කරන කටාර් ජාතිකයන්

ගවයන් ආනයනය කොට කටාර් භූමියේ ඇති දැඩි කරනු ලැබීම වාණිජමය අතින් සාර්ථක ක්‍රියාමාර්ගයක් පමණක් නොව එය ලාභදායක බවත් ජෝන් ජෝසප් ඩෝ (John Joseph Dore) පවසයි.

"කිරි ආනයනය කරනවාට වඩා ගව ආහාර ගෙන්වීම වැදගත්. කවන ආහාර කිලෝවක් වෙනුවෙන් එළදෙනක් කිරි කිලෝ දෙකක් සපයනවා. ඒවගේම දිනපතා අලුත් කිරි සපයන ගවයන් සහ පාරිභෝගිකයන් අතර ගොඩ නැගෙන්නේ කිට්ටු සම්බන්ධතාවයක්" ඔහු දේශීය කිරි නිෂ්පාදනයේ ඵලදායීතාව තවදුරටත් විස්තර කරයි.

කටාරය කිරි ආහාර හැරුණ විට තවත් බොහෝ ආහාර පාන විදේශ රටවලින් ආනයනය කරයි.

උදාහරණයක් හැටියට කටාරයේ පාරිභෝජනය කරන එළවළුවලින් 80% කට අධික ප්‍රමාණයක් ඔවුන් ගෙන්වනු ලබන්නේ යුරෝපයෙන් සහ වෙනත් රටවලිනි.

එහෙත් දේශීය ඉල්ලුමට සරිලන මට්ටමින් අවශ්‍ය එළවළු වර්ගවලින් වැඩි කොටසක් සියරට තුළම නිෂ්පාදනය කළ හැකි බව ඇතැම් කටාර් කෘෂි නිෂ්පාදකයෝ පවසති.

1400 ක් හෝ ඊටත් වැඩි විය හැකි කටාර් කෘෂි නිෂ්පාදන ව්‍යාපාර අතර දැනට නිෂ්පාදන ඵලදායීතාව සහිත වන්නේ ඉන් තුන්සීයක පමණි.

Image caption ගල්ෆ් රටවල් මැද කුඩා කටාරය දැක්වෙයි

එම ආයතනත් සාර්ථක ආදායම් ලබන්නේ දේශගුණ ඍතු අනුවයි.

එසේ වුවද, උතුරු කටාරයේ පිහිටි 'ඇග්‍රිකෝ' (AgriCo) සමාගම පසුගිය වසර තුන ඇතුළත අවුරුද්ද පුරාම නිෂ්පාදන කාර්යයේ නිරත වූ කෘෂි ව්‍යාපාරයකි.

'ඇග්‍රිකෝ' (AgriCo) කෘෂි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නසීර් අල් කලාෆ් (Nasser Al-Khalaf) බීබීසියට අදහස් දක්වමින්, වසරේ අප්‍රියෙල් පටන් ඔක්තෝබර් මාසය තෙක් කටාරයේ පවතින දේශගුණය ඉතා උණුසුම් එසේම වියළි සහ ආද්‍රතාව සහිත බවත් එය කෘෂිකර්මයට හිතකර තත්වයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

"එහෙම තත්වයක් තිබුනත්, අපේ ගොවිපොළ තමයි අවුරුද්ද පුරාම හැම ජාතියකම එළවළු නිපදවපු ගොවිපොළ. අපි අවුරුදු ගණනාවක් පර්යේෂණය කරලා සොයා ගත්ත විද්‍යාත්මක ක්‍රම ඒ සඳහා යොදා ගන්නවා. අපි අපේ සාර්ථකත්වය ඔප්පු කරලා තියෙනවා" නසීර් අල් කලාෆ් (Nasser Al-Khalaf) උදම් අනයි.

නසීර් අල් කලාෆ් විසින් පාලනය කරනු ලබන හතරැස් මීටර් 120,000 ක් පමණ වූ ගොවිපොළ හරිතාගාර වලින් යුක්ත වෙයි.

තක්කාලි ආදියේ පටන් ළූණු, බිම් හතු, සලාද ගෝවා සහ වැනි හැම දෙයක්ම ඔවුහු වගා කරති.

ඊට අතිරේකව පළතුරු වගාවත් එහි සිදු කෙරෙයි.

නිෂ්පාදන ධාරිතාවය නංවාලීම සඳහා දේශීය සමාගම් වලට සහයෝගය දීමට කටාර් ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බව 'ඇග්‍රිකෝ' (AgriCo) කෘෂි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි.

"අපි අපේ දැනුම හුවමාරු කර ගන්නවා. අනිකුත් සමාගම් විසිනුත් එහෙම කරන බව මට සහතිකයි. ඉදිරි අවුරුදුවල අපි මහන්සියෙන් වැඩ කළ යුතුව තියෙනවා. මම විශ්වාස කරනවා- අනාගතයේ දී කටාරයේ අපට අපේම ආහාර නිෂ්පාදනය කර ගන්න පුළුවන් ව්වි කියල" නසීර් අල් කලාෆ් කියා සිටියි.

Image copyright Reuters
Image caption කටාර් එමීර් ෂේක් තමීම් බින් හමාඩ් අල් -තාන්

එළවළු පාරිභෝජනය කිරීම අතින් තමන්ගේම නිෂ්පාදන මත යැපීමට තවත් අවුරුදී 3-5 ත් අතර කාලයක් ගත වනු ඇත යන්න නසීර් අල් කලාෆ්ගේ තක්සේරුවයි.

ඒත් ඔවුන්ට හැමදේම වගා කළ නොහැකි බව ඔහු පිළිගනී.

උදාහරණයක් වශයෙන් උක් සහ ඉරිඟු දැනට පවතින තාක්ෂණය යටතේ කටාර් භූමියේ පළ නොදරයි.

දේශීය ජන මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි කටාර් ආණ්ඩුව ගබඩා ගෙවල් ඉදි කරනු ලැබීමේ කොන්ත්‍රාත්තුවක් දේශීය සමාගමකට දැනටමත් පවරා ඇත.

තිස් ලක්ෂයක් ජනතාවට අවුරුදු දෙකකට සෑහෙන ආහාර පාන එම ගොඩනැගිලි තුළ ගබඩා කර තැබීම් කටාර් පාලනයේ සැලැස්මයි.


ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?


කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර