චීනයේ විදේශාධාර ගැන රහස් රැසක් හෙළිවේ

  • 2017 ඔක්තෝබර් 12
Image copyright AFP
Image caption චීන ආධාර ඇතිව ඉදිවූ හම්බන්තොට වරාය

චීනය සතු රාජ්‍ය රහස් පිළිබඳ ලැයිස්තුව ඉතා දිගුය. ඒ අතර වාර්ෂිකව පුද්ගලයින් කොපමණ ප්‍රමාණයක් මරණයට ලක් කෙරෙන්නේද සහ ඉහළ ම නායකයින්ගේ උපන් දින වැනි කරුණු ද වේ. නමුත් විදෙස් රටවල පර්යේෂකයෝ චීනයේ තවත් රාජ්‍ය රහසක් හෙලිදරව් කරගත්හ. ඒ, බෙයිජිං පාලනය ආධාර වශයෙන් කොපමණ මුදලක් අනෙකුත් රටවලට සපයන්නේද යන්න ය.

චීනය විදෙස් රටවල ආධාර මත යැපෙන්නකු බවට පත්ව සිටියේ වැඩි ඈතක නොවේ. නමුත් සිය ප්‍රතිවාදීන් වූ, ලෝකයේ විශාලතම ආධාර සපයන්නන්ගෙන් කෙනෙකු වන අමෙරිකා එක්සත් ජනපදය ද චීනයේ සම්ප්‍රදායික සංවර්ධන ආධාර හෝ මුල්‍ය ණය ලාභියකු වී සිටී.

වෙනත් රටවලට චීනයේ මුදල් ගලායන ආකාරය පිළිබඳ පුළුල් සවිස්තර දත්ත ගබඩාවක් මුල්වරට ගොඩනැගීමට චීනයෙන් බාහිර පර්යේෂකයින් කණ්ඩායමක් සමත්වූහ. රටවල් 140 ක ව්‍යාපෘති 5,000ක් කෙරෙහි අවධානය යොමු කෙරෙන එයින්, අනෙකුත් රටවලට කොපමණ ප්‍රමාණයක් ආධාර සපයන්නේද යන්න අරභයා චීනය හා ඇමෙරිකාව අතර තරගය හෙළිදරව් කර ඇත.

කෙසේවෙතත්, "ඔවුන් මේ අරමුදල් යොදවන්නේ අතිශය වෙනස් ආකාරවලින්. විවිධ සංයුතිවලින් යුතු එම ආධාර වර්ගීකරණ පුළුල්ව පැතිරගිය ප්‍රතිවිපාකවලින් සමන්විතයි." යැයි ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක බ්‍රැඩ් පාර්ක්ස් පවසයි.

ඇමෙරිකාවේ වර්ජිනියා හි පිහිටි විලියම් සහ මේරි විද්‍යාලයේ (College of William & Mary) AidData research lab හි ප්‍රධානියා වන ඔහු මෙම පර්යේෂණය සම්පූර්ණ කරනු ලැබුවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ හා ජර්මනියේ හෙයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් සමග එක්වීමෙනි.

රහස හෙළිදරව් වූයේ කෙසේද ?

Image copyright CARL DE SOUZA/AFP/GETTY IMAGES
Image caption ජිබුටි සහ ඉතියෝපියාවේ අඩිස් අබාබා අතර දුම්රිය මග යා කිරීමේ යටිතල පහසුකම් ඉදිකිරීමේ යෙදෙන චීන ශ්‍රමිකයින්. 2015 දී ගන්නා ලද ඡායාරූපයකි

චීන ආණ්ඩුව පිළිතුරු නොදුන් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා තමන්ගේම ක්‍රමවේදයක් සකසා ගැනීමට AidData කණ්ඩායමට සිදුවිය. ප්‍රවෘත්ති වාර්තා, නිල තානාපති ලේඛන මෙන්ම චීනය සමග ගනුදෙනුවලට එක්වූ පාර්ශ්වවල ආධාර හා ණය තොරතුරු උපයෝගී කරගනිමින් චීනයෙන් අදාළ රටවලට මුදල් ගලායාම නිරීක්ෂණය කෙරිණි.

කොටසින් කොටස එක්කෙරුණු එම තොරතුරුවලින් ගොඩනැගුනු සාපේක්ෂ වශයෙන් සම්පුර්ණ චිත්‍රයෙන් චීනයේ ආධාර යොමුවන්නේ කොයිබට ද යන්න සහ එහි ඇති බලපෑම කෙබඳුද යන්න පෙන්නුම් කළේය.

"මා හිතන්නේ මේ ක්‍රමවේදය නිසා අප දන්නා මෙන්ම දැනගත හැකි තොරතුරු විසල් ප්‍රමාණයක් හෙළිවුණා." යැයි පවසන බ්‍රැඩ් පාර්ක්ස්, "චීන ආණ්ඩුවට සැබවින්ම යමක් සඟවන්නට වුවමනා උනානම්, අපට ඒක හසුකරගන්න බැරිවෙන්න පුළුවන්. නමුත් කිසියම් රටකට චීනයෙන් සැලකිය යුතු තරමේ මුදලක් යොමුවෙනවානම් එය හමුවෙනවා. "

චීනය මුදල් දෙන්නේ කෙසේද ?

අධ්‍යයනයෙන් හෙළිවූ ප්‍රධාන කරුණක් වන්නේ, අදාළ දත්ත සමුදායට අයත් වසරවලදී චීනය හා ඇමෙරිකාව සමාන මුදල් ප්‍රමාණයක් මුදා හැරීමය. නමුත් එය සිදුවී තිබෙන්නේ අතිශයින්ම වෙනස් ආකාරයෙනි.

ඇමෙරිකාවේ මුල්‍යාධාරවලින් අති බහුතරය (93%) බටහිර ලෝකයේ කාර්මික රටවල පිළිගැනීමට අනුව ගැනෙන්නේ ආධාර පිළිබඳ සම්ප්‍රදායික රාමුවටය. ආධාර ලබන රටවල ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මුලික ඉලක්කය කොටගෙන එම ආධාර සැපයේ. එම මුදලින් අවම තරමින් හතරෙන් එකක් නැවත ගෙවිය යුතු ණයක් නොවන, ඍජු ප්‍රදානයක් නියෝජනය කෙරේ.

ඊට ඉඳුරාම වෙනස්ව යමින්, චීනය අනෙකුත් රටවලට සපයන ආධාරවලින් කුඩා ප්‍රමාණයක් (21%) සම්ප්‍රදායික ආධාර ගණයෙහි ලා සැලකේ. එසේනම්, ඉතිරි මුදල් ප්‍රමාණය ? වාණිජ ණය ලෙස දෙන එම ණය ප්‍රමාණය පොලිය ද සමග යළි බෙයිජිං වෙත ගෙවිය යුතුය.

"සිය ප්‍රාග්ධනය වෙනුවෙන් ආකර්ශනීය ආර්ථික ප්‍රතිලාභයක් ලබාගැනීමට චීනයට අවශ්‍යයි" බ්‍රැඩ් පාර්ක්ස් කියා සිටී.

ඒ මුදලින් ලබාගන්නේ මොනවාද ?

කණ්ඩායමේ අනෙක් ප්‍රධාන සොයාගැනීම : චීනය සම්ප්‍රදායික ආධාර සපයන විට එම ආධාර ලබන රටවල් සිත්ගන්නා සුලු ආර්ථික වාසි අත්කර ගනී. චීනයේ ආධාර ව්‍යාපෘති හුදෙක් චීනයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සකසා ඇති බවට දීර්ඝ කාලයක් පුරා සැක කෙරිණි; යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකෙරුනේ ගෙන්වාගන්නා ලද චීන ශ්‍රමිකයින්ගෙනි. උදාහරණයක් ලෙස, මේ නිසා රට තුළ පුද්ගලයින්ගේ ජීවිතවලට සැලකිය යුතු තරමේ දෙයක් එක් නොවීය. කෙසේවෙතත්, බටහිර ලෝකයේ ආධාර දෙන රටවල් මෙන් චීනය ද සංවර්ධන ආධාර ව්‍යාපෘති කළමනාකරණයට සමත්කම් දක්වන බව මේ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත.

චීන ආධාර: වැය කරන අයුරු

ඩො.බි.362

චීන විදේශ ආධාර හා ණය එකතුව

  • චීන ආධාරවලින් ණය හැරුණුවිට ප්‍රදාන සේ සැලකෙන ප්‍රමාණය 21%

  • අදාළ කාලය තුළ සමස්ත ඇමෙරිකානු ආධාර හා ණය ප්‍රමාණය ඩො.බි.399

  • සමස්ත ඇමෙරිකානු ආධාරවලින්,ආර්ථික සංවර්ධන හා සුබසාධනය ඉලක්කගත සම්ප්‍රදායික ආධාර ප්‍රමාණය 93%

Getty

චීනයේ මුදල් ලබන රටවල් මොනවා ද ?

වසර 2000 සිට චීනය සපයන ආධාර සහ ණයවලින් විශාල පංගුවක් අප්‍රිකානු රටවල් විසින් හිමිකරගනු ලැබ ඇත.

කෙසේවෙතත්, සෙනෙගාලයේ රෝහල් ව්‍යාපෘතිවල සිට පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ වරාය දක්වා ලෝක ව්‍යාප්තව චීනයේ ධනය බෙදා හැර තිබේ. AidData පර්යේෂණයට ලක්වූ ඉතා ආසන්නම වසර වූ 2014 දී එම ආධාර ලබන රටවල් ලැයිස්තුවේ ඉහළට ම පැමිණ තිබුනේ රුසියාව ය. පාකිස්තානය හා නයිජීරියාව ඒ පසුපසින් සිටී.

Image copyright AAMIR QURESHI/AFP/GETTY IMAGES
Image caption පාකිස්තානයේ ග්වඩර් වරාය සංවර්ධනයට චීනයේ මුදල් යෙදිණි

ඇමෙරිකාව හා චීනය සිය මුදල් යෙදවීම තීරණය කිරීමේදී දේශපාලනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. පොලිය ද සමග සිය ණය ලබාගැනීමට චීනයට අවශ්‍යවන විට චීන අපනයන හෝ වෙළෙඳපොල ණය අනුපාත ප්‍රවර්ධනය කෙරෙහි චීනය නිතරම අවධානය යොමු කරන බව AidData පර්යේෂකයින් විසින් හඳුනාගනු ලැබ ඇත.

උතුරු කොරියානු සබඳතාව

උතුරු කොරියාවේ සෙලවෙන ආර්ථිකයට ආධාර දෙනු ලබන ප්‍රධානම මූලාශ්‍රය චීනය බව නිතරම පෙනෙන්නට තිබේ. එහෙත් AidData පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි වසර 14ක් පුරා උතුරු කොරියාවේ පැවතියේ චීන ව්‍යාපෘති 17 වන අතර එහි මුළු එකතුව ඩොලර් මිලියන 210ක් තරම් නොවැදගත් වටිනාකමකි.

"තොරතුරු සම්බන්ධයෙන් කලු සිදුරක්" ලෙස හඳුන්වා දෙන බ්‍රැඩ් පාර්ක්ස්, උතුරු කොරියාව පර්යේෂකයන් මග හැර ගිය එකම ආධාර ලබන රට බව පිළිගනී. චීනය උතුරු කොරියාවට දෙනු ලබන්නේ යැයි විශ්වාස කෙරෙන අති විශාල මුදල් සම්භාරය හා අනෙකුත් ආධාර තිබෙන්නේ ගෝලීය මුල්‍ය පද්ධතියෙන් පරිබාහිරවය.

Image copyright AFP PHOTO/KCNA VIA KNS
Image caption උ. කොරියාවට චීනයේ ආධාර ගලා යාම සමීපව නිරීක්ෂණය පර්යේෂකයින්ට අසීරු විය

චීනයේ මුදල් ආකර්ශනීය ඇයි ?

1960 ගණන්වල සිට 1990 දශකය දක්වා බටහිර ලෝකයේ රටවලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබුනේ ඉහළ පොලියෙන් යුතු වෙළෙඳපොළ අනුපාතයේ ණය වේ. එහෙත් මේ තත්ත්වය ණය දෙන රටවලට අයහපත් ලෙස බලපෑවේ එම ණය ගන්නා රටවලට තමන් එසේ ගත් ණයවල පොලිය යළි ගෙවා ගත නොහැකිවන්නට පටන්ගත් විටය. ඒ අනුව බටහිර ආධාර ආකෘතිය යළි සකසන්නට යෙදුණි.

"සංවර්ධනය වෙමින් පවතින රටවලට වෙළෙඳපොළ අනුපාත ණය පිරිනැමීමෙන් වැළකීමේ පොදු ප්‍රතිපත්තියක් තිබුණා." බ්‍රැඩ් පාර්ක්ස් පවසයි. "මෙන්න දැන් චීනය එතනට ඇවිත්. ඔවුන් එම සන්ධානයේ හවුල්කරුවන් නොවේ. එම ප්‍රතිපත්තියේ නොයෙදුණු ඔවුන් බොහොම ඕනෑකමින් වෙළෙඳපොල අනුපාතයට ආසන්න හෝ එම අනුපාතයට ණය සපයනවා."

"සහනයක් ඕනෑ වූ අවස්ථාවලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට නොයා ඒ වෙනුවට චීනය වෙත රටවල් යොමුවීම වැඩිවෙමින් තිබෙනවා."

චීනය තවදුරටත් මුදල් ණයට දෙන්නේ ද ?

මේ දක්වා දත්ත වලින් පෙන්වා දෙන්නේ චීනයෙන් වෙළෙඳපොල අනුපාතයට ණය ලබාගන්නා රටවල් ආර්ථිකමය වශයෙන් අසීරුතාවකට පත්නොවුවත් ආර්ථික වර්ධනයක් ද නොලබන බවය. බෙයිජිං වෙත ගෙවීමට ඇති ණය යළි ගෙවාගත නොහැකි වීම නිසා රටවල් ණය බර ඉහළ යාමෙන් ඉදිරි වසර 10 හෝ 15 තුළදී මේ තත්ත්වය වෙනස් වේ යැයි පර්යේෂකයෝ බිය පළ කරති. ඒ අවස්ථාවේදී චීනයට වෙනස් ආකාරයකට සිතන්නට සිදුවනු ඇත.

"ඔවුන් හොඳ තැනක ඉන්නවා වෙන්නට පුළුවන්, නමුත් තව අවුරුදු 10 න් හෝ 15 කින් දුන් ණය ආපසු නොලැබෙන විට බටහිර ණය දෙන්නන් මුහුණ දුන් ආකාරයේ ප්‍රශ්නවලට ඔවුන්ටත් මුහුණ දෙන්න සිදුවේවි." බ්‍රැඩ් පාර්ක්ස් පැහැදිලි කළේය. "එය සිදුවීමට පටන්ගත්විට එම ණය යළි සකසන්නේ කොහොමද යන්න ගැන සමහර විට බෙයිජිං පාලනය සිතා බලන්නට පටන් ගනීවි."

බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක සියාජුන් ලි පවසන්නේ ණය දීමේ ප්‍රවේශයේ වෙනස්කමක් කිරීමට චීනය පෙළඹීමේ ලකුණු දැනටමත් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ ඇති බවය. ලෝක බැංකුවට පිළිතුරු සපයමින්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වැනි බහුජාතික ආයතන හරහා චීනය ණය දීම වැඩි කර තිබේ.

චීනය ගෝලීය විශාල ණය සපයන්නෙකු වූ විට කුමක් වේද ?

ණය ලබන රටවලට කොන්දේසි විශාල ප්‍රමාණයක් යෙදවීම නතර කිරීම සඳහා සම්ප්‍රදයික ණය දෙන්නන්ට බලපෑම් කරමින්, සමස්ත ගෝලීය ණය දීමේ පද්ධතියට බලපෑමක් කිරීමට තරම් චීනයේ පාලනයකින් තොර ණය දීමේ ක්‍රමයට හැකියාවක් ලැබී නැති බව සාක්ෂිවලින් පෙනී ගොස් ඇත. AidData දත්ත පදනම උපයෝගී කරගන්නා ආර්ථික විද්‍යාඥ ඩියෙගෝ හර්නැන්ඩස් හෙළිකරන්නේ ප්‍රධාන ණය සපයන්නෙකු ලෙස චීනයේ භූමිකාව සම්ප්‍රදායික ණය දෙන්නන් අතර තරගය වැඩි කිරීමට හේතුවී ඇති බවය.

"අප්‍රිකානු රටක් ද චීනයේ සහය ලබන විට," යැයි පවසමින් ඉදිරියට යන හර්නැන්ඩස්, "තමන්ගේ ණයවලට අදාළව ලෝක බැංකුව අඩු කොදේසි ප්‍රමාණයක් පනවනවා" චීන ආධාරවල සෑම 1%ක වර්ධනයක් වනවිට ලෝක බැංකුව විසින් සාමාන්‍යයෙන් පනවනු ලබන වෙළෙඳපොල නිදහස හෝ ආර්ථික පාරදෘශ්‍ය බව වැනි කොන්දේසි 15%න් අඩු කරන බව හර්නැන්ඩස් හඳුනා ගත්තේය.

චීනයේ "දළ ආධාර" ඇතැම් රටවලට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් ඉවත්ව සිටීමට ඉඩකඩ සලසා ඇතැයි දිගු කාලයක සිට විචාරකයින්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ. සම්ප්‍රදායික බටහිර ණය දෙන රටවල සුපරීක්ෂණයෙන් ගැලවී ඉතා පහසුවෙන් චීන ආධාර වෙත යොමු වීමට එම රටවලට හැකිවීම මීට හේතුව බව ඔවුහු පවසති.

කාම්බෝජය මීට දැක්විය හැකි ආසන්නතම නිදසුන ය. සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසට වොෂිංටන් පරිපාලනය කරන ඉල්ලීම මගහැර යමින් චීනය සමග සබඳතා තරකර ගැනීමට කාම්බෝජ නායකයින් පියවර ගනිද්දී ස්වාධීන පුවත්පත් මෙන්ම බටහිර රාජ්‍ය නොවන සංවිධානවලට ද ඉඩකඩ ඇහිරිණි.

චීන ආධාර අප්‍රිකානු රටවල් වෙනසකට භාජනය කර ඇත්තේ කෙසේදැයි අධ්‍යයනය කළ සියාඔජින් ලි, චීන ආධාර දෙසට යොමුවීම හරහා බටහිර ණය දෙන රටවල කොන්දේසි මග හැර යා හැකි යැයි සංවර්ධනය වෙමින් පවතින රටවල් නිගමනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මන්දගාමී වී ඇති බවට තර්කයක් මතු කරයි.

"ආධාර සම්බන්ධයෙන් චීනයේ ප්‍රවේශය සම්ප්‍රදායික ණය දෙන රටවල විවේචනයට ලක්වෙලා" යැයි පවසන ඔහු, එහෙත් "බොහෝ අප්‍රිකානු රටවල් බෙයිජිං සහාය වැළඳ ගන්නවා, එහෙමත් නැතිනම් අඩුම තරමින් වෙනත් විකල්ප කරා යන්න කැමැත්තක් දක්වනවා" යැයි ද පවසයි.

(සෙලියා හැටන්, බීබීසී ප්‍රවෘත්ති වෙනුවෙන් සැකසූ වාර්තාවක් ඇසුරිණි)

සබැඳි විෂයයන්