උතුරු කොරියානු - ඇමෙරිකානු වාග් සංග්‍රාමය යළි ඇවිලෙයි

  • 2017 නොවැම්බර් 12
Image copyright EPA
Image caption මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි.

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කර ගනිමින් වොෂින්ටනය සහ 'ප්යෝන්ග්යෑන්' පාලනය අතර වාග් සංග්‍රාමය යළි කරළියට පැමිණ ඇත.

මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'මහලු යුද වැද්දකු' ලෙස හඳුන්වා දී ඇත.

ඒ අතරම, සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය නතර නොකරන බවත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.

ඊට පිළිතුරු සපයමින් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප්, ඔහු විසින් කිම් ජොන් අන් 'තරබාරු මිට්ටකු' ලෙස කිසිවිටක හඳුන්වා නැති අතරවාරයේ තමාට 'මහල්ලකු' ලෙස සරදම් කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි.

Image copyright Reuters
Image caption ජනාධිපති ට්‍රම්ප් පැරණි එදිරිවාදී වියට්නාමයේ ජනාධිපතිවරයා සමඟ මිතුරු වෙමින්

තවදුරටත් අදහස් දක්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා තමා උතුරු කොරියානු නායකයාගේ මිතුරකු වීමට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින අතර ඇතැම්විට අනාගතයේ දිනයක එය පල දැරීමට ඉඩකඩ ඇති බවත් සඳහන් කරයි.

එහෙත් ඔහු වරක් කිම් ජොන් අන් 'පිස්සකු' ලෙසත් තවත් වරෙක 'පුංචි රොකට්කාරයා' ලෙසත් හඳුන්වා දී තිබුණි

උතුරු කොරියාවත් සමඟ වාග් සංග්‍රාමයක නිරත වෙන අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් දකුණු චීන මුහුදේ දූපත් අයිතිය සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් අතර පවතින ආරාවුල සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

සිය වියට්නාම් සංචාරය නිමාවේ එරට ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් දකුණු චීන මුහුදේ ආරාවුලට මැදිහත් වීමේ සිය අභිප්‍රාය පළ කළේය.

එම මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ වියට්නාමය අතර අමිහිරි අර්බුදයක් පවතී.

ඇමෙරිකාව එම අර්බුදයට මැදිහත් වීම චීනයේ කැමැත්ත නොවනු ඇතැයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.

Image copyright AFP
Image caption ජනාධිපති ට්‍රම්ප් පිලිපීනයට ළඟාවීමට පෙර විරෝධතාවාදීන් ඔහුගේ අනුරුවක් පුළුස්සන ලද අවස්ථාවක්

වියට්නාමයේ පැවති ආසියා -ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගී වූ ජනාධිපති ට්‍රම්ප් මේවනවිට පිලිපීනයට ලඟා වී සිටියි.

පිලිපීනය ඔහුගේ දීර්ඝ ආසියානු සංචාරයේ හතරවැනි රටයි.

අනතුරුව ඔහු මෙම සංචාරයේ අන්තිම භූමිය වන දකුණු කොරියාවට ලඟා වනු ඇත.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර