උමඟකින් ගොස් බැංකුවක් කොල්ල කෑ හැටි

  • 2017 නොවැම්බර් 15
Image copyright ANUSHREE FADNAVIS
Image caption සොරුන්ගේ ගොදුරක් වූ බැරෝඩා බැංකුව

උමඟක් හාරා එතුළින් ගොස් රාජ්‍ය බැංකුවක් බිඳින ලද සොර මුලක් පිළිබඳව බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වෙයි.

මාස කීපයක් රහසිගතව කණින ලද මීටර් අටක් (අඩි විසි පහක්) දිග උමඟ තුළින් සොරමුල පිවිස ඇත්තේ ඉන්දීය ආණ්ඩුවේ අයිතිය සහිත බැරෝඩා (Bank of Baroda) බැංකුවටයි.

උමඟ හැරීමට ඔවුන් මාස හතරක පමණ කාලයක් ගත කරන්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

උමඟින් බැංකුවට ඇතුල් වූ සොරුන් විසින් එහි තිබුණ මුදල් සහ රන් ආභරණ වලින් කොටසක් පැහැර ගනු ලැබ ඇතැයි ඉන්දීය පොලිසිය පවසයි.

පැහැර ගනු ලැබ ඇති මුදල් ප්‍රමාණය සහ රන් ආභරණවල වටිනාකම තවමත් ඇස්තමේන්තු කර නැත.

ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට 'බැරෝඩා' බැංකුවට යාබද ගොඩනැගිල්ලක් කුලියට ගත් සොරුන් කණ්ඩායම, තම රහසිගත සැලසුම ආවරණය කර ගැනීම සඳහා එහි වෙළෙඳසැලක් ආරම්භ කර ඇත.

Image copyright ANUSHREE FADNAVIS
Image caption උමඟ හාරා ඇත්තේ මෙම වෙළෙඳසැල තුළ සිටයි.

ඔවුන් උමඟ හාරා ඇත්තේ එම වෙළෙඳසැල තුළ සිටයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බැංකුව කොල්ල කෑමෙන් අනතුරුව එම සැක කටයුතු පුද්ගලයන් අතුරුදහන් ව ඇත.

ඔවුන් උමඟ සෑරීම මාස හතරක් තරම් කාලයක් කිසිවකුට නොදැනෙන පරිදි රහසක් වශයෙන් තබා ගන්නා ලද්දේ කෙසේද යන්න පිළිබඳවත් අවධානය යොමු වෙමින් ඇත.

එම බැංකු සොරකම වාර්තා වීමත් සමඟ කැළඹීමට පත් 'බැරෝඩා' ගනුදෙනු කරුවන්ගේ අදහස් ඉන්දියානු මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

"මගේ සියලු වත්කම් තැන්පත් කර තිබුණේ 'බැරෝඩා' බැංකුවේ මට අයත් සේප්පුවේ. පරම්පරා ගණනාවක් අපට අයත්ව තිබුණ රත්තරන් බඩු ටික ඔක්කෝම නැතිවුනා" ඩග්දු ගවානි (Dagdu Gavani) 'මුම්බායි මිරර්' පුවත්පතට කියා ඇත.

සෙනසුරාදා රාත්‍රියේ සිදුව ඇති සොරකම 'බැරෝඩා' බැංකු කාර්ය මණ්ඩලය දැන ගෙන තිබෙන්නේ සඳුදා උදෑසනයි.

අනතුරුව ඔවුන් පොලිසිය දැනුවත් කර ඇත.

Image copyright ANUSHREE FADNAVIS
Image caption උමඟ සැරීමට මාස හතරක් තරම් කාලය ගෙන ඇත.

බැංකුවේ ඇති සේප්පු 225 න් තිහක්(30)කඩා ඒවායේ තැන්පත් කර තිබුණ දෑ පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් කවුරුන්ද යන්න තවම හඳුනා ගෙන නැත.

සබැඳි පුවත්;