ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් "ඉවත් කිරීමේ සැලසුමක්"

  • 2017 නොවැම්බර් 30
Image copyright AFP

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වෙනුවට සීඅයිඒ සංවිධානයේ ප්‍රධානී මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම්වරයා ලෙසින් පත්කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී මතභේද හටගෙන තිබිණ.

රාජ්‍ය ලේකම්වරයා විසින් ජනාධිපති ට්‍රම්ප් "මෝඩයෙකු" ලෙසින් හැඳින්වූ බවට ද වාර්තා පළ විය.

විශේෂයෙන්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සහ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා එකිනෙකට පරස්පර අදහස් දරති.

රෙක්ස් ටිලර්සන් ඉවත් කිරීමේ සැලසුමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වන ඒපී පුවත් සේවය පවසන අතර, ආණ්ඩුවේ ආරංචි මාර්ග ඒ පිළිබඳවද නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පතට සහ වැනිටි ෆෙයාර් (Vanity Fair) සඟරාවට ද අදහස් දක්වා තිබේ.

සබැඳි යොමු:

මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම්වරයා ලෙසින් පත්කිරීමෙන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ටොම් කොටන් සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා ලෙසින් පත්කිරීමට නියමිත බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Image caption "පුංචි රොකට් මෑන්' එක්ක සාකච්ඡා සඳහා වෙහෙසීම කාලය නාස්ති කිරීමක්"

කෙසේ වුවත්, ජනාධිපති ට්‍රම්ප් අදාළ සැලසුමට සිය අවසාන අනුමැතිය ලබා දී තිබේ ද යන්න තවමත් පැහැදිළි නොමැති බව ද පුවත්පත පවසයි.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර විරසකයක් පවතින බවට කලක් මුළුල්ලේම වාර්තා පළ වෙමින් තිබිණ.

රෙක්ස් ටිලර්සන් පසුගිය ජනවාර් මාසයේ රාජ්‍ය ලේකම් පදවියට පත්කෙරුණු අතර, කිසියම් ලෙසකින් ඔහු පදවියෙන් පහ කෙරුණහොත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ඉතාම කෙටි කාලයක් පදවිය හෙබැවූ අවස්ථාවක් ලෙසින් එය වාර්තා අතරට එක්වනු ඇත.