ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

  • 2017 දෙසැම්බර් 5
Image copyright AFP
Image caption සංචාරක තහනමට එරෙහිව ලොස් ඇන්ජලීස් නුවර පැවති උද්ඝෝෂණයක දී යාඥා කරන මුස්ලිම් කාන්තාවන්

මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හයක් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහනම සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි විය.

කෙසේ නමුත් එම තහනම එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුකූල දැයි යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම සඳහා එරට පහළ අධිකරණය කටයුතු කරමින් සිටී.

අදාළ තහනම බලපැවැත්වෙන්නේ චැඩ්, ඉරානය, ලිබියාව්, සෝමාලියාව, සිරියාව සහ යේමනය යන රටවලටය.

ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ලබා දුන්නේ සංචාරක තහනම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විසින් තෙවන වරට ලබා දෙනු ලැබූ සංශෝධිත නියෝගය සඳහාය.

සංචාරක තහනම අභියෝගයට ලක් කරමින් පහළ අධිකරණය ලබා දුන් වාරණ නියෝග ඉවත් කිරීම සඳහා විනිසුරන් නව දෙනෙකුගෙන් හත් දෙනෙකුගේ අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගය සම්බන්ධයෙන් පනවා තිබු තහනම තවදුරටත් එලෙසම හැරීමට රූත් බැඩර් ගින්ස්බර්ග් සහ සෝනියා සොටෝමෙයර් යන විනිසුරුවරු ඉඩ ලබාදුන්හ.

අභියාචනාධිකරණයේ විභාගයට

Image copyright AFP
Image caption ජනාධිපති ට්‍රම්ගේ සංචාරක තහංචියෙන් කොටසක් පමණක් ක්‍රියාවට නැංවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට ඉහතදී අනුමැතිය ලබා දී තිබිණි.

සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අලුතින්ම ලබා දුන් තීන්දුව නීතියට පටහැණි දැයි යන්න සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියා, රිච්මන්ඩ් සහ වර්ජිනියා යන ෆෙඩරල් අභියාචනාධිකරණ විසින් මේ සතියේදී විභාග කිරීමට නියමිතය.

ඉහත කී අභියාචනාධිකරණ ඒ සම්බන්ධයෙන් "කඩිනමින් යෝග්‍ය" තීන්දුවකට පැමිණෙනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අවසානයේ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ය.

ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක තහනම සහ එහි ගමන් මග

Image copyright AFP
Image caption සංචාරක තහනමට එරෙහිව ඔක්තෝබර් මස ලොස් ඇන්ජලීස් නුවර පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ මුස්ලිම් කාන්තාවක්

අදාළ තහනම සම්බන්ධයෙන් ලබා දුන් සියලුම නියෝග අධිකරණයේ අභියෝගයට ලක් විය.

  • මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හතකට දින 90 සඳහා බලපැවැත්වෙන සංචාරක තහනමක් පනවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය ජනවාරි මාසයේ දී විධායක නියෝගයකට අත්සන් තැබීය. සිරියානු සරණාගතයන් සඳහා දින නියමයකින් තොරව අදාළ තහනම ක්‍රියාත්මක වීමට නියමිත වූ අතර ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි. එමෙන්ම අදාළ නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය අභියෝගයට ලක්විය.
  • මාර්තු මාසයේ දී අදාළ නියෝගය සංශෝධනය කෙරුණු අතර ඉරාකය එම ලැයිස්තුවෙන්ඉවත් කෙරිණි. එමෙන්ම සිරියානු සරණාගතයන් සඳහා දින නියමයක් නොමැතිව ලබා දෙනු ලැබූ තහනම ද ඉවත් කරනු ලැබීය. සියලුම සරණාගතයන් ඇමරිකාවට ඇතුළුවීම දින 120 සඳහා වළකාලීම ඇතුළු ජනාධිපති නියෝගයේ අඩංගු වූ බොහෝ කරුණු බලාත්මක කිරීමට ජුනි මාසය වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය. එක්සත් ජනපදයේ ජීවත්වන අයෙකුගේ "සමීප" ඥාතියෙකුට හෝ එක්සත් ජනපදයේ පවතින ව්‍යාපාරයකට "සමීප" සබඳතා ඇති අය එම තහනමින් නිදහස් විය.
  • සංචාරක තහනම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ලබා දුන් තෙවන නියෝගය පසුගිය සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්විය. මුස්ලිම්වරුන් බහුතරය වෙසෙන රටවල් නොවන උතුරු කොරියාවේ සහ වෙනිසියුලාවේ ඇතැම් පුද්ගලයන් ද අදාළ තහනමට යටත් කෙරුණු අතර ඒ සඳහා පහළ අධිකරණයේ අනුමැතිය හිමිවිය.

සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයා ලද ජයග්‍රහණයක් වෙයි.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර