එක්සත් රාජධානියේ විශාලම ගුවන් යානා නෞකාවේ කාන්දුවක්

  • 2017 දෙසැම්බර් 20
HMS Queen Elizabeth sailed into Portsmouth in August following preparations at the naval base Image copyright PA
Image caption එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව අගෝස්තුවේදී පොර්ට්ස්මත් වෙත යාත්‍රා කළේ නාවික කඳවුරේ සැරහුම් කටයුතුවලින් පසුවය

අලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී තිබේ.

එලිසබෙත් මහ රැජින විසින් මේ මස මුලදී පොර්ට්ස්මත් හි දී අධිකාරී ගැන්වූ මෙම නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත.

පවුම් බිලියන 3.1 ක වියදමින් තනන ලද නෞකාවේ මතුවූ දෝෂය හඳුනා ගැනුනේ එය මුහුදේ පරීක්ෂණ සඳහා යාත්‍රා කෙරුණු අවස්ථාවේදීය.

නැව අලුත්වැඩියාවකට යොමු කිරීමට නියමිත වුව ද ලබන වසර මුලදී යොදාගෙන ඇති යාත්‍රා කිරීමට එයින් බාධාවක් නොවන බව රාජකීය නාවික හමුදාවේ ප්‍රකාශකයා පැවසීය.

සන් පුවත්පත වාර්තා කළ පරිදි හටගත් දෝෂය හේතුවෙන් සෑම පැයකදීම එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තුළට මුහුදු ජලය ලීටර 200 දක්වා වූ ප්‍රමාණයක් ගලා එයි.

මේ ගැටලුව, රාජකීය නාවික හමුදාව "අතිශය අපහසුතාවට" පත්කරන්නක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් පැවසීය.

Image copyright Reuters
Image caption නැව අධිකාරියට පත්කිරීමේ උත්සවය දෙසැම්බර් 7 වෙනිදා පැවැත්විණි

"ජලය ගලා ඒම අපේක්ෂා කළ යුතුයි"

එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තනන ලද්දේ බීඒඊ සිස්ටම්ස්, බැබ්කොක් හා තේල්ස් යන සමාගම් එක්ව සැදුනු එයාර් ක්‍රාෆ්ට් කැරියර් එලයන්ස් නම් සමූහය විසිනි.

ෆයිෆ් හි පිහිටි රොසිත් තටාකාංගනයේදී එකලස් කිරීමට පෙර ග්ලාස්ගෝ හි පිහිටි ගෝවන් සහ ස්කොට්ස්ටුන්, ලිවර්පූල් හි පිහිටි ඇපල්ඩොර්, කැමල් ලෙයාර්ඩ් , නිව්කාසල් හා පොස්ට්මත් හි පිහිටි ඒ ඇන්ඩ් පී යන අංගන හයකදී නෞකාවේ කොටස් නිපදවිණි.

දෝෂය සහිත කොටස ගෝවන් හි පිහිටි සිය අංගනයේදී නිපදවන ලද බව බීඒඊ සිස්ටම්ස් විසින් තහවුරු කරන ලදී. එහි අලුත්වැඩියාව නව වසරේදී සිදුකරන අතර ඊට දින කිහිපයක් ගතවන බව ද සඳහන් කළේය.

Image caption නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත

එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයුම් ශක්‍යතා පිළිබඳ හිටපු අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ක්‍රිස් පෙරී පැවසුවේ පළවූ සිරස්තල "අතිශය අපසුතාවක්" ඇති කළේ වුවද මේ කාන්දුව "සැබෑවටම එතරම් සැලකිය යුතු දෙයක් නොවේ" යනුවෙනි.

බීබීසී සමග මේ පිළිබඳ අදහස් පළකළ රියර් අද්මිරාල් පෙරී, "මුහුදේදී යුද නැව් තුළට යම් ප්‍රමාණයක ජලය ගලා ඒම ඔබ අපේක්ෂා කළ යුතුයි. ඒ නිසයි ඒවායෙහි පොම්ප සවිකර තිබෙන්නේ" යැයි පැවසීය.

"එය මුහුදේ පරීක්ෂණ ගමනේ යෙදුණා. යම් පීඩනයක් තිබුණා. ඒ සියලු පද්ධති පරික්ෂා කෙරුනේ ඒවායෙහි උපරිමයට යමින්. එයයි මුහුදේදී සිදුවුනේ" යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

අඩි 900ක් (මීටර 280) දිග එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව එහි නේවාසික තොටුපොළ වන පොර්ට්ස්මත් වෙත පසුගිය අගෝස්තු මාසයේදී පළමු වරට සේන්දුවීමට පෙර රොසිත් සිට පිටත්ව මාස දෙකක කාලයක් මුහුදේ පරීක්ෂාවේ යෙදිණි.

එච්එම්එස් ක්වීන් එලිසබෙත්

රාජකීය නාවික හමුදාව සතුවූ විශාලතම යුද නෞකාව

65,000

ටොන්

පවුම් බිලියන 3.1

වියදම

  • ගුවන් යානා අංගනයේ දිග මීටර280

  • දැනට සිටින කාර්ය මණ්ඩලය 700

  • නැව අභ්‍යන්තරයේ ඇති විදුලි රැහැන්වල දිග සැතපුම් 155,000

PA

එය එක්සත් රාජධානියෙහි අලුත් පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා අතරින් පළමු වැන්න වේ. එච්එම්එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නම්වූ දෙවෙනි නෞකාව බාහිර වශයෙන් ඉදිකර අවසන් වුවද අභ්‍යන්තර පද්ධති සවි කිරීම සඳහා මාස 18 ක කාලයක් ගතවෙනු ඇත. රොසිත් හි සිදුවන එම කටයුතු 2019 දක්වා ක්‍රියාත්මකවන අතර ඉන් අනතුරුව මුහුදේ පරීක්ෂාව කෙරෙනු ඇත.

මේ තොරතුරු දැනගන්න :

Image caption වෙනත් ගුවන් යානා ප්‍රවාහන නෞකා සමග සැසඳීම

ගුවන් යානා නැහැ

නැවේ කාන්දුවක් හටගැනීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුනේ එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවේ ගෙනයාමට නියමිත එෆ්-35 වර්ගයේ ගුවන් යානාවල වියදම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අවධානය යොමු කර තිබියදීය.

වසර 2025 වනවිට ඇමෙරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගමෙන් එෆ්-35 යානා 48 ක් පවුම් බිලියන 9.1 ට මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් එක්සත් රාජධානිය ආරම්භ කර තිබිණි.

එහෙත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක තේරීම් කමිටුව මෙම ජෙට් යානා පිළිබඳ "පිළිගත නොහැකි විනිවිදභාවයකින් තොරවීමක්" සිදුවී ඇතැයි පැවසුවේ, මෙම එක් ගුවන් යානයක් පවුම් මිලියන 150 ට වැඩි වන බව එක් ඇස්තමේන්තුවකින් පෙන්වා දී තිබු බැවිනි.

දැනට එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව සමග ගුවන් යානා යෙදවීම සිදු නොවුව ද ලබන වසරේදී ඒ මතින් ලයිට්නිං ගුවන් යානා යොදාගනිමින් පළමු පරීක්ෂණ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇමෙරිකාවේදී පුහුණුව ලද 120ක කාර්ය මණ්ඩලයක් ඊට එක් වේ.

එවක ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන් විසින් පසුගිය සැප්තැම්බරයේදී අලුත් ජාතික නැව් තැනීම් ක්‍රමෝපායක් හඳුන්වාදෙනු ලැබිණි.

රජය පැවසුවේ වසර 2023 වනවිට අලුත් ටයිප් 31 ඊ ෆ්‍රීගේට් යාත්‍රා පහක්වත් මිලදී ගැනීමට සැලසුම් කරන බවය. රට පුරා පිහිටි තටාකාංගනවලට ඒවායෙහි ඉදිකිරීම් බෙදාදෙන බව ද පැවසීය.

අලුත් නෞකාවල පළමු කණ්ඩායම රාජකීය නාවික හමුදාවේ යාත්‍රා සමූහය සවි ගන්වනු ඇති අතර ඉදිරියේදී විදේශ නාවික හමුදා ද එක්සත් රාජධානියෙන් නෞකා මිලදී ගනු ඇතැයි ද එය අපේක්ෂා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර