මෙල්බන් ප්‍රහාරය: "ත්‍රස්ත ක්‍රියාවක් නොවේ"

  • 2017 දෙසැම්බර් 21
Image copyright Reuters
Image caption සිදුවීම ඇසින්දුටුවෙකු පවසා තිබුණේ මෝටර් රථයේ ගැටීමත් සමග "පදිකයන් ඉහළට පියඹා යන ආකාරය" දුටු බවය

මෙල්බන් නගරයේ පදිකයන් වෙත සිතාමතා රිය ධාවනය කළ පුද්ගලයා මානසික ගැටලු සහිත මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

ඔහු සහ 'ත්‍රස්තවාදය' අතර සම්බන්ධයක් ඇතැයි දැනගැනීමට නොමැති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

සිදුවීම වාර්තා වූ 'ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්' හිදී යම් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන රියදුරා පොලිසිය භාරයට ගෙන ඇත.

තිස් දෙහැවිරිදි රියදුරා විසින් නගර මධ්‍යයේ පිහිටි කාර්යබහුල මංසන්ධියක් වන 'ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්'හි ගමන් ගනිමින් සිටි පදිකයන් ගණනාවක් වෙත රිය ධාවනය කර ඇති බව වික්ටෝරියා පොලිසිය පවසයි.

රියේ ගැටී පුද්ගලයන් දාහතර දෙනෙකු තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙක් බලපතල තත්ත්වයේ පසුවෙති.

පදිකයන් රියේ ගැටෙන ආකාරය පටිගත කරමින් සිටි විසි හතර හැවිරිදි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පිහි සහිත බෑගයක් ඔහු සතුව තිබුණු බව පොලිසිය පවසයි.

කෙසේ නමුත් පදිකයන් වෙත රිය පැදවීම සහ ඔහු අතර සම්බන්ධයක් නොමැති යැයි විශ්වාස කරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
රියදුරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

රිය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකාරී නිමවා සිටි පොලිස් නිලධාරියෙකු විසිනි.

එහිදී පොලිස් නිලධාරියාගේ අතට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

පොලිස් ආරක්ෂාව මැද රියදුරා ද රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ජනවාරි මාසයේ දී 'බරක් ස්ට්‍රීට්' හි ගමන්ගත් පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කරනු ලැබීමත් සමග මෝටර් රථ යොදා ගනිමින් සිදු කරන ප්‍රහාර වැළකීමේ අරමුණින් 'ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්' ඇතුළු ස්ථාන ගණනාවක කොන්ක්‍රීට් බාධක යෙදවීමට නගර බලධාරීහු කටයුතු කළහ.

සමාන පුවත්:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර