බෙනාසීර් බුට්ටෝ ඝාතනය පිටුපස අභිරහස

  • 2017 දෙසැම්බර් 27
Image copyright Getty Images
Image caption බෙනාසීර් බුට්ටෝ ඝාතනයේ දහවැනි සංවත්සරය යෙදෙන්නේ අදටයි.

පකිස්ථාන් මහජන පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් හිටපු අගමැතිනි බෙනාසීර් බුට්ටෝ වෙනුවෙන් ඉදි කොට ඇති සමාධිය අසල අද (දෙසැම්බර් 27) එක්රැස්ව සිය හිටපු නායිකාව අනුස්මරණය කළහ.

බෙනාසීර් බුට්ටෝ ඝාතනයේ දහවැනි සංවත්සරය යෙදෙන්නේ අදටයි.

2007 වසරේ පැවත්වුන මහ මැතිවරණයේ දී පකිස්තාන් මහජන පක්ෂයට නායකත්වය දුන් බෙනාසීර් බුට්ටෝ 'රාවල්පින්ඩි' නගරයේ සංවිධානය කෙරුණ ප්‍රචාරක රැළියකට සහභාගී වී ආපසු යාමට සැරසෙමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයකුට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

බෙනාසීර් ඉලක්ක කර ගනිමින් පළමුව වෙඩි තැබූ ප්‍රහාරකයා අනතුරුව බෝම්බය පුපුරුවා ගත්තේය.

'බිලාල්' නම් ප්‍රහාරකයා පහළොස් හැවිරිදි යොවුන් තරුණයකු විය.

Image copyright Getty Images
Image caption ඝාතනය සිදු කෙරුණේ මෙම පින්තූරය ගෙන තත්පර කීපයකට පසුවයි

බෙනාසීර් බුට්ටෝ ගේ පුත්‍රයා වන බිලාවල් බුට්ටෝ ෂර්දාරි පකිස්ථාන් මහජන පක්ෂයේ වත්මන් නායකයා වෙයි.

පකිස්තාන් වේලාවෙන් අද සවස් භාගයේ පැවැත්වුන මහජන රැළියට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වූ අතර එම ප්‍රදේශයේ දැඩි ආරක්ෂක රැකවරණ යොදා තිබුණි.

බෙනාසීර් බුට්ටෝ ගේ සැමියා වන අසිෆ් අලි ෂර්දාරි, සිය බිරිඳ ජන්ම ලාභය ලද 'සින්ද්' ප්‍රාන්තයේ පිහිටි ග්‍රාමයේ ඉදි කොට ඇති සමාධිය අබියස එක්රැස්ව සිටි මහජනයා අමතා කතා කිරීමට නියමිතව සිටියේය.

බෙනාසීර් බුට්ටෝ ඝාතනය පිටුපස වූ හස්තය තවමත් නිවැරදිව හඳුනා ගනු ලැබ නැත.

ඝාතනය සම්බන්ධයෙන් පකිස්තාන් ආණ්ඩුව තාලිබාන් කැරලිකරුවන්ට චෝදනා කරයි.

Image caption ජනරාල් මුෂාරෆ් ඝාතන චෝදනා බැහැර කරයි

බෙනාසීර් මුස්ලිම් රටක රාජ්‍ය නායකත්වයට පත් පළමු කාන්තාවයි.

ඇය පකිස්ථානයේ හිටපු අගමැතිවරයකු වන සුල්ෆිකාර් අලි බුට්ටෝගේ දියණියයි.

හමුදා පාලක ෂියා උල් හක් පාලනය යටතේ සුල්ෆිකාර් අලි බුට්ටෝ එල්ලා මරා දමනු ලැබුණි.

බෙනාසීර් 1990 දශකයේ දෙවරක් අගමැති පදවියට පත් වුනත් යුද හමුදාව විසින් ඇය තනතුරෙන් පහ කරනු ලැබුණි.

ඝාතනය කරනු ලබන විට ඇය යත්න දරමින් සිටියේ තුන්වෙනි වරටත් පකිස්ථානයේ බලය දිනා ගැනීමටයි.

ඝාතනය සම්බන්ධයෙන් එවකට හමුදා පාලක ජනරාල් පර්වේෂ් මුෂාරෆ් දෙසටත් ඇඟිල්ල දිගු වූ අතර ඔහු එම චෝදනා බැහැර කළේය.

"මේ චෝදනා සිනාවට කාරණයක්! මම මොකටද ඇය මරන්නේ?" ජනරාල් පර්වේෂ් මුෂාරෆ් බීබීසී සාකච්ඡාවක දී සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption ඝාතනය නිසා කම්පාවට පත් ජනතාව

එහෙත් බෙනාසීර් ගේ පුත්‍රයා වන බිලාවල් බුට්ටෝ ෂර්දාරි සිය මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනරාල් පර්වේෂ් මුෂාරෆ්ට චෝදනා කරයි.

"ජනරාල් මුෂාරෆ් මගේ මව මරා දැමීම සඳහා එදා පැවති සමස්ත වාතාවරණය උපයෝගී කර ගත්තා. ඔහු සිතාමතාම මගේ මවගේ ආරක්ෂක රැකවරණ කඩාකප්පල් කළා" බිලාවල් බුට්ටෝ ෂර්දාරි පවසයි.

කෙසේවුවද, ජනරාල් මුෂාරෆ් රටින් පළා ගොස් 'ඩුබායි' වාසයට යාමත් සමඟ ඔහුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඇනහිට තිබුණි.

මුෂාරෆ්ට එරෙහි නෛතික වැඩ පිළිවෙල නතර වීමත් සමඟ එම නඩුවේ සෙසු විත්තිකරුවෝ නිදහස ලදහ.

ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරන ලද්දේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමිනි.

කෙසේවුවද, ඝාතනය වැළැක්වීමට අපොහොසත් වීම සහ නොසැලකිලිමත්ව කටයුතු කිරීමේ චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට වසර දාහත වන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුණි.

Image caption මේ වසරේ (2017) මුදා හරින ලද සැකකරුවන් පස්දෙනා

ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබ ඇත්තේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා පමණක් වන අතර අපරාධය වූ සැණින් එම භූමිය සෝදා දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය.

බෙනාසීර් ඝාතනයෙන් සති කීපයක් ඇතුළත සැක කරුවන් පස් දෙනෙක් අදහස් දක්වමින්, ඔවුන් පහළොස් හැවිරිදි ප්‍රහාරකයා විසින් සිදු කරන ලද ඝාතනයට සහයෝගය දුන් බවට පාපොච්චාරණය කර ඇත.

ඔවුන් පවසන පරිදි එම සහයෝගය දී තිබෙන්නේ 'අල් කයිඩා' සහ පකිස්තාන් 'තාලිබාන්' ව්‍යාපාරයේ නියමය අනුවයි.

සබැඳි යොමු;බෙනාසීර් බුට්ටෝ ඝාතනය පිටුපස අභිරහස