පාකිස්තාන මහකොමසාරිස් රිය පෙළට එල්ල වූ බෝම්බ ප්‍රහාරය: සැකකරු නිදහස්

Image copyright Thinkstock

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේදී පාකිස්තාන මහකොමසාරිස්වරයා ගමන්ගත් රථ පෙළට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර යුද හමුදා සාමාජීකයන් හත් දෙනෙකු මරාදැමීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වසර දහයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ දෙමළ ජාතිකයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය සිකුරාදා (ජනවාරි 05) නියම කළේය.

2006 වසරේ අගෝස්තු 14 වෙනිදා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක පාකිස්තාන මහකොමසාරිස් බෂීර් වලි මොහොමඩ් ගමන්ගත් රථ පෙළට බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඔහුට ආරක්ෂාව සැපයූ යුද හමුදා සාමාජිකයින් හත්දෙනකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බාලක්‍රිෂ්ණන් මනෝහරන් නමැති විත්තිකරුට එරෙහිව චෝදනා අටක් ඉදිරපත් කළ නීතිපතිවරයා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් කියා සිටියේ, විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී නොමැති බවය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් පලකළ විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරංග බණ්ඩාර කියා සිටියේ, නීතිපතිවරයා නිසිලෙස සාක්ෂි අධ්‍යනයකර නඩු පවරන්නේ නම්, විත්තිකරුවන්ට මේ ආකාරයෙන් අසාධාරණයන් සිදුනොවන බවයි.

"මේ විත්තිකරුට තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න වසර දහයකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවුණා. නඩු පැවරීමට පෙර නීතිපතිවරයා සාක්ෂි තිබේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති පුද්ගලයින් නඩු පැවරීමකින් තොරව නිදහස් කළ යුතුයි. ඒ ආකාරයෙන් නීතිපතිවරයා කටයුතු කරන්නේ නම් විත්තිකරුවන්ට අසාධාරණයක් සිදු වන්නේ නැහැ"යනුවෙන් නීතිවේදී සුරංග බණ්ඩාර සඳහන් කළේය.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්