ජිනීවා තානාපතිනිය ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

ජිනීවා තානාපතිනිය තමාරා කුනනායගම්

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය තමාට කියුබාවට හෝ බ්‍රසීලයට ස්ථාන මාරුවක් යෝජනා කොට ඇතැයි එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් කියා සිටියි.

තමා ජිනීවා හි නිත්‍ය නියෝජිත පදවියෙන් ඉවත් කළ හොත් එය ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල මිනිසුන් අතර අර්බුදයක් ඇතැයි හුවා දක්වන පිරිස් වල ජයග්‍රහණයක් වනු ඇතැයි ද ඇය කියා සිටියාය.

ජිනීවා නගරයේ සිට සංදේශයට අදහස් ප්‍රකාශ කළ ඇය, මේ අවස්ථාව ස්ථාන මාරුවක් සඳහා සුදුසු නොවන බවයි සඳහන් කළේ. තමා ඉහත කී යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඇය අවධාරණය කළාය.

තමා වෙනත් තානාපති කාර්යාලයකට මාරු කළහොත්, එය වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම නිසා තමාට ලැබුණු දඬුවමක් ලෙස ඇතැමුන්ට එය විග්‍රහ කළ හැකි වනු ඇතැයි පෙන්වා දෙන තමාරා කුනනායගම්, තමා ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය ඔවුන් විසින්ම තීරණය කර ගනු ලැබීම වෙනුවෙන් සටන් කළ බවයි පවසන්නේ.

තමා ජිනීවා පදවියෙන් ඉවත් කළහොත් ,එය ඇමෙරිකාව ජිනීවා නගරයේදී ගෙන ආ යෝජනා වලට එරෙහිව සටන් කරනවාට වඩා සම්මුතිවාදී පිළිවෙතක් අනුගමනය කළ යුතු යයි කී පිරිස් වල ජයග්‍රහණයක් වෙනු ඇතයි ද තමාරා කුනනායගම් කියා සිටියාය.

එවැනි පිරිස් තම ස්ථාන මාරුව සඳහා බලපෑම් කරන්නට ඇති බව ඇගේ විශ්වාසයයි.

දෙවසරක ධූර කාලයක් සඳහා තමා පත් කෙරුණ අතර ගතව ඇත්තේ මාස නවයක කාලයක් පමණකැයි කියා සිටි තානාපතිනිය ,තමා ඉවත් කළහොත් තුන් වසරක කාලයක් තුළ ජිනීවා පදවිය සඳහා ශ්‍රී ලංකාවෙන් පත් කෙරුන තානාපති වරුන්ගේ සංඛ්‍යාව හතර දෙනකු වනු ඇතැයිද පෙන්වා දුන්නාය.

මේ මාරුවීමේ යෝජනාව ගඟේ සැඩ පහර මැදදී අසු මාරු කිරීමක් හා සමාන බවත් ඇය සඳහන් කළාය.

මේ පිළිබද විමසු විට විදේශ අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ තමන් දැනට මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අපොහොසත් බවයි.