ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන සාම සාකච්ඡා කරු ඝාතනය කැරේ

අර්සලා රහ්මානි Image copyright Reuters

ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන සාම සාකච්ඡාකරු අර්සලා රහ්මානි කාබුල් අගනුවර දී තුවක්කු කරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.

හිටපු තලෙයිබාන් නිලධාරියෙක් වන රහ්මානි සාම සාකච්ඡා සඳහා පෙරමුණ ගත්තෙක්.

ඔහු ගමන් කල මෝටර් රථය, මාර්ග තද බදයකට හසු වූ අවස්ථාවේ දී ඝාතකයා දුම්බටයක් සවි කල තුවක්කුවකින් එල්ල කළ තනි වෙඩිපහරින් සාම සාකච්ඡාකරු

මරණයට පත් වී ඇති බවයි කාබුල් අගනුවර පොලිස් ප්‍රධානියා පවසන්නේ.

වෙඩි තැබීම සිදුවන විට රහ්මානි සමග ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සිට නැහැ.

ඇෆ්ගනිස්ථානු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ, තලෙයිබාන් සංවිධානය හිතන පතන අන්දම පිලිබඳ ජනාධිපති කර්සායි දැනුවත් කළ අර්සලා රහ්මානිගේ මරණය, සාම වැඩපිළිවෙලට එල්ල කෙරුණ දැඩි පහරක් බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, තම හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇෆ්ගනිස්ථානයේ දී මරණයට පත් වී ඇතැයි කියා සිටියේය.

හෙල්මන්ඩ් පළාතේ මුර සංචාරයක නිරතවෙමින් සිටි මෙම භටයන්ට, ඇෆ්ගනිස්ථානු පොලිස් භටයන් විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

නමුත් මේ අදහසට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කරන නේටෝ සංවිධානය කියා සිටියේ, පොලිස් ඇදුමින් සැරසුන සටන්කාමීන් පිරිසක් විසින් මෙම ඝාතන සිදු කළ බවයි.

නේටෝ සංඛ්‍යා ලේඛණ වලට අනුව මේ වසර තුල ආරක්ෂක සේවාවන් හි රාජකාරි කරන ඇෆ්ගනිස්තානුවන් විසින් ජාත්‍යන්තර හමුදාවල

සාමාජිකයන්ට කළ වෙඩි තැබීම් වල විශාල වර්ධනයක් දක්නට ඇත.