විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ් ස්වීඩනයට

විකිලීක්ස් අන්තර් ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් Image copyright Reuters
Image caption විකිලීක්ස් අන්තර් ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්

විකිලීක්ස් අන්තර් ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ස්වීඩනයට භාර දිය යුතු යයි ලන්ඩන් ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබේ.

ලිංගික අපරාධ චෝදනා ලැබ සිටින ජුලියන් අසාන්ජ් ,තමා ස්වීඩනයට භාර දෙනු ලැබීමට එරෙහිව ඉදිරිපත් කර තිබුන අභියාචනයක් බැහැර ලූ ලන්ඩන් ශ්‍රේෂ්ටාධිකරණය, ඉහත කී තීන්දුව ගෙන තිබෙන්නේ විනිශ්චය මණ්ඩලයේ බහුතරයේ තීරණයක් අනුවය.

සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් පස් දෙනෙක් අසාන්ජ් ස්වීඩනයට භාරදිය යුතු යයි තීන්දු කළ අතර, ඊට එරෙහි වූයේ විනිසකරුවන් දෙදෙනෙක් පමණයි. අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ තර්කය වුනේ, ස්වීඩනය කරන ඉල්ලීම වලංගු නොවන බවයි.

විකිලීක්ස් වෙබ් අඩවිය, ඇමෙරිකානු රාජ්‍ය රහස් ඇතුළත් ලිය කියවිලි රැසක් හෙළිදරව් කළ අතර ,ස්වීඩනයට යැව්වොත් ,එරට බලධාරීන් විසින්අසාන්ජ් එක්සත් ජනපදයට භාර දෙනු ලැබීමට ඉඩකඩ ඇති බවට ඔහුගේ ආධාරකරුවන් බිය පළ කොට ඇත.

අසාන්ජ් ස්වීඩනයට යැවිය යුතුව තිබෙන්නේ සති දෙකකට පසුවයි , ඊට පෙර ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔහුට ඇත.