රුසියාවේ පූතින් විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක්

Anti-Putin protest in Moscow Image copyright Reuters
Image caption රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයෝ පවසති

රුසියාවේ යළි මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා විරුද්ධ පක්ෂයේ ආධාරකරුවෝ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වමින් සිටිති.

ව්ලදිමීර් පූතින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පසුගිය මැයි මාසයේ යළි පත්වීමෙන් පසු එරට විරුද්ධ පක්ෂය පවත්වන පළමු විරෝධතා රැලිය මෙයයි.

මොස්කව් අගනුවර පැවැත්වෙන රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයන් කියා සිටියත් රුසියානු පොලිසියේ තක්සේරු වලින් පැවසුනේ ඊට වඩා අඩු පිරිසක් විරෝධතාවයට සහභාගී වී සිටින බවයි.

සමාජ හා ආර්ථික කටයුතු වලට තර්ජනයක් වියහැකි ක්‍රියාකාරකම් මගින් රුසියාව දුර්වල කිරීමට හෝ බෙදා වෙන්කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි, ජනාධිපති ව්ලදිමීර් පූතින් රූපවාහිනියෙන් ජනතාව අමතමින් කියා සිටියේ.

අන්තර් ජාල ප්‍රහාරයක්

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ආරම්භ වත්ම ස්වාධීන පුවත් පළ කරන සමහර රුසියානු වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී තිබේ.

තමන් අන්තර් ජාලය හරහා එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි එක් රූපවාහිනී සේවයක් කියා සිටියේ.

ආණ්ඩු විරෝධී රැළිය සුදානම් කෙරෙමින් තිබියදී, රුසියානු පොලිසිය ඊයේ (ජුනි 11 වැනි දින) විපක්ෂයේ ක්‍රියාධරයන් ගේ නිවාස වලට කඩා පැන ඒවා සෝදිසි කරන්නට පටන් ගත්තේය.

රුසියාවේ රහස් පරීක්ෂකයන් කියා සිටින්නේ, ජනාධිපති පූතින්ගේ පාලනයට එරෙහිව පසුගිය මාසයේ දියත් කෙරුන වීදි උද්ඝෝෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් ඇති විභාගයක කොටසක් හැටියට එම කඩා පැනීම සිදු කළ බවයි.

කෙසේ වුවද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි දැමීමේ උත්සාහයක නිරත වෙන බවට විපක්ෂය බලධාරීන්ට චෝදනා කළේය.

රුසියාව තුළ දූෂණ වලට එරෙහිව හඬක් නගන, අලෙක්ෂි නවාල්නි ගේ නිවසත් පොලිසිය කඩා වැදුන නිවාස අතරට ඇතුළත් වේ.