'බැට්මෑන්' නරඹද්දී වෙඩිතැබීමෙන් 12 ක් මරුට

අව්රෝරා සිනමා ශාලාව  ඉදිරිපිට රැස්ව සිටින ජනතාව Image copyright AP

බැට්මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරෙද්දී, එහි කඩා වැදුන මුහුණු ආවරණය කර ගත් තුවක්කු කරුවෙක්, වෙඩි තබා දොළොස් දෙනකු මරා දමා තවත් පහළොස් දෙනකුටවත් තුවාළ සිදු කිරීමේ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් නගරයෙන් වාර්තා වේ.

ඩෙන්වර් නගරය පිහිටා තිබෙන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ.

" ද ඩාර්ක් නයිට් රයිසස්" නම් නව බැට්මෑන් චිත්‍රපටය තිර ගත කෙරෙද්දී කඩා වැදුන තුවක්කුකරුවා දාහතර දෙනකු මරා දැමු බවයි, කලින් ලද පොලිස් වාර්තාවන්හි දැක්වුණේ.

අව්රෝරා නම් සිනමා ශාලාවේ දී ඉහත කී චිත්‍රපටය තිරගත කිරීම ආරම්භයේදීම, ගෑස් ප්‍රහාර වලදී පාවිච්චි කෙරෙන මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු, තිරය ඉදිරියේ මතුවෙමින් ගෑස් බඳුනක් විවෘත කොට සිනමා ශාලාව දුමාරයෙන් පිරෙද්දී වෙඩි තබන්නට පටන් ගත් බවයි එහි සිටි ප්‍රේක්ෂකයන් පවසන්නේ.

සිනමා ශාලාව අසල පිහිටි රියගාලකදී ජේම්ස් හෝම්ස් නම් ප්‍රහාරකයා අත් අඩංගුවට ගත් බවයි, ඩෙන්වර් පොලිසිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේ රයිෆලයක් සහ තවත් ගිනි අවි ඔහු සතුව තිබු බවද පොලිසිය සඳහන් කළේය.

මේ ඝාතන පිළිබඳ පුවත ඇසීමෙන් පසු තමා බලවත් කම්පාවට සහ තිගැස්මට පත් වූ බවයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටින්නේ.