සිරියානු කැරලිකරුවන්ට බ්‍රිතාන්‍යයෙන් ආධාර

සිරියානු කැරලිකරුවන්ට Image copyright AFP
Image caption සිරියානු කැරලිකරුවන්

පවතින අනාරක්ෂිතභාවය හමුවේ සිරියාවෙන් පළා යමින් සිටින ජන සංඛ්‍යාව වැඩි වෙත්ම, තමන්ට දුෂ්කර කාර්ය භාරයක නිරත වීමට සිදුව ඇතැයි, අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR ) කියා සිටියි.

සිරියානු ආණ්ඩුවේ හමුදා සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ඇති අලෙප්පෝ නගරයෙන් මහජනතාව විශාල වශයෙන් පළායමින් සිටින බවයි වාර්තා වන්නේ.

සිරියාවෙන් අසල්වැසි රටවල් හතරකට පැමිණ සිටින එක්ලක්ෂ පනස් දහසකට ආසන්න අනාථයන් තමන් විසින් ලියා පදිංචි කරනු ලැබ ඇති බවයි, UNHCR ආයතනය පවසන්නේ.

මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, ඩොලර් අසූ ලක්ෂයකට ආසන්න වටිනා කමක් සහිත ආධාර තොගයක් සිරියානු කැරලිකරුවන්ට සැපයීමේ සැලැස්මක තොරතුරු නිවේදනය කෙළේය.

ඔහු විසින්, එම ආධාර තොගය විග්‍රහ කරන ලද්දේ මාරක නොවන දේවල් හැටියටයි. වෛද්‍ය අංශයට අදාළ ද්‍රව්‍ය සහ ප්‍රහාර වලින් බේරීම සඳහා මහජනතාවට කල්තබා අනතුරු ඇඟවීමට යොදා ගත හැකි පණිවුඩ හුවමාරු උපකරණ ආදිය එම ආධාර තොගයට ඇතුලත් වන බවයි, බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසන්නේ.