වෙඩි කෑ පකිස්තාන් ළමා ලේඛිකාව හමුදා රෝහලකට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා - 13:34 GMT

පසුගිය අඟහරුවාදා තාලිබාන් වෙඩි පහරට ලක්වූ දහ හතර හැවිරිදි පකිස්තාන් පාසල් සිසුවිය, මලාලා යුසුෆ්සායි රාවල්පින්ඩි නුවර රෝහලකට ගෙන ගිය බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

හිසට වැදුණු වෙඩි පහරකින් අසාධ්‍ය තත්වයට පත් මෙම දැරිය සුවය ලබමින් සිටින බවයි වෛද්‍ය මතය.

වයඹ දිග පාකිස්තානයේ ස්වාත් නිම්නයේ වාසය කරන මලාලා ප්‍රසිද්ධියට පත් වුනේ ගැහැණු ළමුන් වෙත අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් අරගල කිරීම නිසා.

ඇයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයෙන් පකිස්තාන් ජනතාව කම්පාවට පත්වූ බව වාර්තාකරුවෝ ප්‍රකාශ කරති.

විරෝධතා

වෙඩි තැබීම හෙළා දකිමින් පකිස්තානය පුරා විරෝධතා දියත් කෙරුනි.

පෙෂවෝර් නුවර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මලාලා යුසුෆ්සායි දැරිය, වෛද්‍යවරුන්ගේ තීන්දුව පරිදි මාරු කර යවා ඇත්තේ රාවල්පින්ඩි නුවර යුද හමුදා හෘද චිකිත්සා සායනය වෙතයි.

ප්‍රහාරයට වගකිවයුතු අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් වටිනා මුදලක් ලබාදෙන බව ස්වාත් ප්‍රාන්ත රාජ්‍යය නිවේදනය කර තිබේ.

මෙයට වසර තුනකට පෙර, ස්වාත් නිම්නය තාලිබාන් පාලනය යටතේ පාලනය වෙද්දී එහි දෛනික ජීවිතය පිළිබඳව ඇය ලියූ දිනපොත බී බී සී උර්දු අංශයෙන් ප්‍රචාරය කෙරුනි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.