ඕස්ට්‍රේලියාව බලා පැමිණි ශ්‍රී ලාංකිකයින් සියයක් ආපසු හරවා එවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 21 බදාදා - 15:27 GMT

බෝට්ටු යොදා ගනිමින් ඕස්ට්‍රේලියාව බලා පැමිණි පිරිස් අතර සිටි සියයක් පමණ ශ්‍රී ලාංකිකයන් යළි සියරට බලා පිටත් කර හැරීමට පියවර ගෙන ඇත.

පසුගිය අගෝස්තු මස සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් පන්සියයකට වැඩි පිරිසක් ආපසු පිටත් කර ඇති බවත් ප්‍රකාශ කෙරිණ.

එම සරණාගතයන් ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් පිටත් කර හරින ලද බව බව මෙල්බර්න් නුවර මාධ්‍ය වේදියකු වන ප්‍රසන්න කුරුකුලරත්න සංදේශයට ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ආගමන හා විගමන කටයුතු ඇමති ක්‍රිස් බ්‍රවුන් කියා සිටියේ නීති විරෝධී අන්දමින් පැමිණෙන කිසිවෙකුට ඉදිරියේදී වීසා ලබා නොදෙන බවයි.

පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ එක්දහස් දෙසීයයකට අධික පිරිසක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ඇත අඩංගුවට ගනු ලැබ ඇත.

දැඩි විවේචන

මේ අතර ඕස්ට්‍රේලියාව තම රටින් පිටත, විදේශිකයීන් සඳහා පවත්වාගෙන යන දෙවැනි සරණාගත මධ්‍යස්ථානයද ආරම්භ කළ බව ප්‍රකාශයට පත් කෙරින.

බෝට්ටු මගින් පැමිණ තම රටේ දේශපාලන රැකවරණ පතන දහස් ගණනක් සම්බන්ධයෙන් දැඩි නව පිළිවෙතක් හඳුන්වා දීමේ සැලැස්මක කොටසක් හැටියටයි, එම දෙවැනි රැඳවුම් කඳවුර විවෘත කෙරුනේ.

පැපුවා නිව්ගිනියාවට අයත්වන මැනුස් දූපතේ (Manus) එම කඳවුර පිහිටුවා ස්ථාපිත කර තිබේ.

ඉරාන් සහ ශ්‍රී ලාංකික සරණාගතයන් කණ්ඩායමක් එහි රඳවා තැබීමට නියමිතව ඇති බවද ප්‍රකාශ වී ඇති අතර, ශාන්තිකර සාගරයේ නාවුරු (Nauru) දූපතේ මෙවැනි ඕස්ට්‍රේලියානු රැඳවුම් කඳවුරක් දැනට පවත්වා ගෙන යනු ලැබේ.

එහි පවතින තත්වය මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක් වෙමිනුයි පවතින්නේ.

ඕස්ට්‍රේලියාව දැනට අනුගමනය කරන පිළිවෙත සරණාගතයන් පැමිණීම වලක්වා ලීමේ විසඳුම් මාර්ගයක් හෝ මානුෂීය වැඩ පිළිවෙලක් නොවන්නේය යන්න මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අදහසයි.

ඉතා දුර්වල බෝට්ටුවලින් අනතුරුදායක මුහුදු ගමනක් ගෙවා ඕස්ට්‍රේලියාවට ළඟාවීමට ගනු ලබන උත්සාහයන්හිදී, දහසකට අධික සරණාගතයන් මේ වනවිට මුහුදේදී මරුමුවට පත්ව ඇතැයි ඇස්තමේන්තු කොට ඇත.

එවැනි අනතුරු වළක්වාලීම තම නව සැලැස්මේ එක් අරමුණක් වන බවත් ඕස්ට්‍රෙලියානු බලධාරීහු පෙන්වා දෙති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.