ශ්‍රී ලංකාවේ සමුළුව වර්ජනය කිරීමට බ්‍රිතාන්‍ය මන්ත්‍රී යෝජනාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 25 අඟහරුවාදා - 17:06 GMT
 කුරාම් ෂෙයික්

ශ්‍රී ලංකාවේදී මරා දමනු ලැබු ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසියේ කුරාම් ෂෙයික්

ඉකුත් නත්තලේ තංගල්ලේදී ඝාතනයට ලක්වූ බ්‍රිතාන්‍ය පුරවැසියකු සම්බන්ධයෙන් වසරක් ගතවීත් යුක්තිය ඉටුවී නැතැයි චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ඉදිරි වසරේ ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අගමැති ඩේවිඩ් කැමරන් සහභාගී වීම නැවත සලකා බැලිය යුතු යයි ප්‍රකාශ කරයි.

සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ශ්‍රී ලංකාවේ රජයට ඇති හැකියාව ප්‍රශ්න කරන බ්‍රිතාන්‍ය විපක්ෂ මන්ත්‍රී වරයා යෝජනා කරන්නේ තම ආසනයේ පදිංචි කරුවාගේ ඝාතනය සිදු කළ අපරාධ කරුවන්ට දඬුවම් කරන තුරු බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසියේ කුරාම් ෂෙයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්රෝව්නා සමගින් නිවාඩුවක් ගත කරමින් සිටියදී.

අඩන්තේට්ටමට ලක්වූ වික්ටෝරියා පෙරලා සියරට බලා ගියේ සිදුවූ දෑ පිලිබඳ ව කිසිත් ප්‍රසිද්ධියේ නොකියා.

සයිමන් ඩන්චුක්

සයිමන් ඩන්චුක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන්චුක් පවසන්නේ ප්‍රධාන චුදිත තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු වන හෙයින් යුක්තිය ඉටුවීම පමා කැරෙන බවයි.

"ශ්‍රීලංකාව නීතිය ක්‍රියාත්මක කරන බව පැහැදිලිව දැක ගත නොහැකි නම් ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව වර්ජනය කළ යුතු" යැයි ඔහු කියා සිටියි.

"මීට අමතරව ශ්‍රිලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු"යැයි ද මන්ත්‍රී සයිමන් ඩන්චුක් ප්‍රකාශ කරයි.

නඩු විභාග කඩිනම් කිරීමට පියවර

මෙවැනි දරුණු අපරාධ කරුවන්ට එරෙහි නඩු විභාග කඩිනමින් නිම කිරීමට ඉඩ සැලසෙන පරිදි ඉතා ඉක්මනින්ම නීති සම්පාදනය කරනු ඇතැයි බිබිසී යට කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත්, අපරාද කරුවන්ට එරෙහි චෝදනා ඉතා ඉක්මනින්ම ගොනු කරනු ඇතැයිද ප්‍රකාශ කළේය.

අපරාධ කරුවන්ට එරෙහිව ඉතා බලවත් සාක්ෂි තිබෙද්දීත් මාස දොළහකට පසුවත් චෝදනා ගොනු කිරීමට නොහැකිවීම, පිළිගැනීමට අපහසු කරුණක් බව කියා සිටින බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා පරීක්ෂණ වලට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුව ඇති බවට තොරතුරු ඇතැයිද සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.