විදේශිකයෝ 60 ක් ඇල්ජීරියානු ගෑස් නිධියේ කොටු වෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 18 සිකුරාදා - 16:00 GMT
Algeria gas field

ළඟාවීමට අසීරු ස්ථානයක පිහිටා තිබෙන ගෑස් නිධියේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා ගැනීම ඉතා දුෂ්කර බව බලධාරීහු පවසති

පසුගිය බදාදා ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ ගෑස් නිධියේ සේවය කළ හැටකට ආසන්න විදේශිකයන් පිරිසක් පිළිබඳව තවමත් තොරතුරු ලැබී නැති බව ඇල්ජීරියාවේ බලධාරීහු පවසති.

එහි සේවය කළ 650 කට ආසන්න ඇල්ජීරියානු වාසීන් සියලු දෙනාම පාහේ මේ වනවිට නිදහස් කොට තිබේ.

බ්‍රිතාන්‍ය වාසීන් පිරිසක් තවමත් ගෑස් ආකාරයේ සිරවී සිටින නමුත් මේ වනවිට එයින් බොහෝ දෙනකු බේරාගෙන ඇති බවයි, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අමතමින් අගමැති ඩේවිඩ් කැමරන් මේ අතර කියා සිටියේ.

"මම ඊයේ රෑ ඇල්ජීරියාවේ අගමැති තුමාට කතා කළා. පළමු මෙහෙයුම සම්පූර්ණ කළ බවත්, නමුත් ඒ ගෑස් නිධිය පිහිටා තියෙන බොහොම සංකීර්ණ ස්ථානය නිසා ඔවුන් තවමත් ත්‍රස්තවාදීන් අල්ලා ගන්න උත්සාහ කරන බවත්, ඔහු මට කිවුව. ඒ වගේම ඒ නිධියේ වෙනත් ප්‍රදේශවල තවමත් ප්‍රාණ ඇපකරුවන් ඉන්න පුළුවන් බවත් ඔහු පැවසුවා," යනුවෙන් ද අගමැතිවරයා සඳහන් කළේය.

ළඟාවීමට අසීරු දුෂ්කරම ස්ථානයක

එහි සේවය කළ සියලු දෙනා තවමත් බේරාගෙන නැති බැවින් වැඩි විස්තර හෙළි කළ නොහැකි බව ද ඩේවිඩ් කැමරන් කියා සිටියේය.

"ඒ ගෑස් නිධිය පිහිටා තියෙන බොහොම සංකීර්ණ ස්ථානය නිසා ඔවුන් තවමත් ත්‍රස්තවාදීන් අල්ලා ගන්න උත්සාහ කරන බවත්, ඔහු මට කිවුව. ඒ වගේම ඒ නිධියේ වෙනත් ප්‍රදේශවල තවමත් ප්‍රාණ ඇපකරුවන් ඉන්න පුළුවන් බවත් ඔහු පැවසුවා"

ඩේවිඩ් කැමරන්

බ්‍රිතාන්‍ය හදිසි මෙහෙයුම් බලකායේ භටයන් පිරිසක් රැගත් ගුවන් යානයක් මේ වනවිට දකුණු ඇල්ජීරියාවට ගොඩ බා තිබෙන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය මේ අතර නිවේදනය කළේය.

කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට අයත් ගෑස් නිධියට කිලොමීටර 280 ක් තරම් ඈත ප්‍රදේශයකට එම යානය ගොඩ බා තිබෙන අතර ඊට වඩා සමීපයට යාමට ඇල්ජීරියාව බ්‍රිතාන්‍යයට අවසර දී නැති හැඩක් පෙනී යන බව බීබීසී වාර්තාකරු නෝමන් ස්මිත් පවසයි.

ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ ඇල්ජීරියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යවාසීන් දෙදෙනකු සහ පිලිපීන ජාතිකයන් දෙදෙනකු මරුමුවට පත්විය.

ඊයේ රාත්‍රියේ බේරා ගැනීමේ මෙහෙයුම හොඳින් ක්‍රියාත්මක වූ බව දිවි බේරාගත් තුර්කි ජාතිකයෙක් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

"ඔක්කොම හොඳින් කෙරුණා. ඇල්ජීරියාවේ හමුදාවටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් ස්තුති වෙන්න ඕනේ. ඒ හැමෝම අපි ගැන හොඳින් බලාගත්ත. ඇත්තටම තවත් ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා," ඔහු පැවසීය.

ඊට පෙරාතුව බදාදා කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඇල්ජීරියානු ජාතිකයෙකු මරුමුවට පත්විය.

ලෝකයේ ළඟාවීමට අසීරු දුෂ්කරම ස්ථානයක පිහිටා තිබෙන මෙම ගෑස් නිධියේ මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා ගැනීම ඉතා දුෂ්කර බවයි, බලධාරීන් පවසන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.