බාලචන්ද්‍රන් ඝාතනය හෙළිදරව්වෙන් ඉන්දීය දමිළ දේශපාලන පක්ෂ කිපෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 20 බදාදා - 16:42 GMT

විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ කනිටු පුත්‍රයා වෙඩි තබා මරා දැමීමට පෙර අත් අඩංගුවේ පසු වන බව පෙන්නුම් කරන ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගින් ඉන්දීය දමිළ දේශපාලන පක්ෂ කෝපාවිෂ්ට ප්‍රතිචාර දක්වා තිබේ.


දොළොස් වියැති බාලචන්ද්‍රන් ඝාතනය යුද අපරාධයක් ලෙස හැඳින්වූ තමිල්නාඩු පාලක පක්ෂය මෙන්ම ඉන්දීය පාලක සභාගයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයත් එක හඬින් අද ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙසයි.

මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම් අද මාධ්‍යවේදීන් හමුවේ තමිල්නාඩුවේ චෙන්නායි අගනුවරදී කියා සිටියේ ඉදිරි ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ඉන්දීය රජයත්, ඇමරිකා එක්සත් ජනපදය හා එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගත යුතු බව.

"මේ අවුරුදු දොළහක දරුවෙක්. එයා කිසිම වැරද්දක් කරලා නැහැ. මරන්න එකම හේතුව එයා ප්‍රභාකරන්ගේ පුතා වීම. කිසිසේත් අනුමත කළ නොහැකි දොළොස් වියැති බාලචන්ද්‍රන් ගේ ඝාතනය යුද අපරාධයක්. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ ගැන වග උත්තර බඳින්න ඕනේ. මේ සාක්ෂිත් විවිධ දෙමළ පිරිස් විසින් හෙළි කර තිබෙන සාක්ෂිත් බැලුවහම ශ්‍රී ලංකා රජයේ ගති සොබාවත්, මානසික සොබාවත් පැහැදිලිව පේනවා. මෙවැනි ක්‍රියා වලින් සිහිපත් වෙන්නේ හිට්ලර් යටතේ නාසීන් කළ කෘර කම්. වර්තමාන ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව හඹා යන්නේ හිට්ලර් යුදෙව්වන් දඩයම් කළ ආකාරයට," මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම් ප්‍රකාශ කරන්නීය.

මහ ඇමැතිනී ජෙයලලිතා ගේ ප්‍රධානම දේශපාලන ප්‍රතිවාදියා වන මුතුවේල් කරුනානිධිද අද ඉන්ධීය රජයට බල කොට සිටියේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවකට සහාය දක්වන ලෙස.

එක්සත් ජනපද යෝජනාවට සහාය දක්වන බව විවිධ බටහිර රටවල් ප්‍රකාශ කොට තිබුනත්, ඉන්දීය රජය සිය නිල මතය මේ තාක් එලි දක්වා නොතිබීම වේදනාවට කරුණක් බවයි ආණ්ඩුවේ පාර්ශව කාර ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයා අද නිකුත් කළ නිවේදනයකින් කියා තිබුනේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ තවත් සාක්ෂි අනවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් කියා තිබුනේ.

කෙසේ වෙතත්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා ඇත්තේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ ජීවිතයේ අවසාන අවස්ථා දැක්වෙන ඡායාරූප ඔහු දැක ඇතත්, තවම එම පින්තූර වල විශ්වසනීයත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි.

ඉන්දියාවේ පලවන හින්දු පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සල්මාන් කුර්ශිඩ් අමාත්‍යවරයා පවසා තිබුනේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ඉන්දියාව, තවමත් ලංකාව මිතුරු හා වැදගත් අසල්

වාසියකු සේ සලකන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.