ජාත්‍යන්තර ජූරි සභික මණ්ඩලයේ ප්‍රධානියාට නොතීසි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 24 ඉරිදා - 16:10 GMT
Chief Justice Altamas

අගවිනිසුරු අල්තමාස් කබීර් විසින් පත් කරන ලද කමිටුවක් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම නීතිවේදී අදීෂ් අගර්වාල්ට එරෙහි චෝදනාවයි

ඉන්දීය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ ප්‍රධානී අදීෂ් අගර්වාල්ට එරෙහිව නඩු පැවරීම සඳහා ඉන්දියාවේ නීතිපතිවරයා නොතීසි නිකුත් කොට තිබෙන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නීතිවේදීහු පවසති.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිවේදී සංගමයේ සාමාජිකත්වය පරීක්ෂා කරන මෙන් තමන් ඇතුළු කමිටුවක් පත් කිරීමේදී අගවිනිසුරුවරයා විසින් අක්‍රමිකතාවයක් සිදු කරන ලද බවට අදීෂ් අගර්වාල් විසින් පුවත්පත්වලට කරන ලද ප්‍රකාශය එම නඩු පැවරීමට නිමිත්ත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී කේ කේ වෙනෝගෝපාල් බීබීසී සංදේශයට පැවසීය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ජාත්‍යන්තර හෙලා දැකීමට ලක් වෙද්දී, එය සාධාරණ ක්‍රියාදාමයක් බව පවසමින් දිල්ලි අගනුවර සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වන අදීෂ් අගර්වාල් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

දෝෂාභියෝග ක්‍රියාදාමය

ඔහු නියෝජනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පිළිගැනීමට පත්ව තිබෙන ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම බව මුලින්ම බොහෝ දෙනාගේ විශ්වාසය වූ අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් එම නිවේදනය ප්‍රචාරය කළේය.

CJ Shirani Bandaranayake

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සාධාරණ ක්‍රියාදාමයක් බව පවසමින් අදීෂ් අගර්වාල් විශේෂ නිවේදනයක් නිකුත් කළේය

කෙසේ නමුත්, ඔහුගේ මතය ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ මතය නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට පාකිස්තානයේ අගවිනිසුරුවරයා ඇතුළු ජාත්‍යන්තර නීතිවේදීහු ගණනාවක් කටයුතු කළහ.

ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලය යනු කවරක් ද යන්න පවා තමන් නොදන්නා බවයි, ජ්‍යෙෂ්ඨ නීතිවේදී කේ කේ වෙනෝගෝපාල් පවසන්නේ.

අගර්වාල් නීතිවේදියා සංවිධාන විශාල ප්‍රමාණයක සභාපතිවරයා බවත්, ප්‍රාන්ත ගණනාවකම ඔහු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා බවත් ඔහුගේ ලිපි ශීර්ෂයේ දැක්වෙන බව නීතිවේදී වෙනෝ ගෝපාල් සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ සාමාජිකයන් කවුරුන්ද, එහි ව්‍යවස්ථාව කවරක් ද යනාදී කරුණු ඔහුගෙන්ම විමසා දැන ගත යුතු බව ද නීතිවේදී වෙනෝ ගෝපාල් පැවසීය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිවේදී සංගමයේ සාමාජිකයන් 8000 ක් සිටින අතර ඒ සියලු දෙනාම සංගමයේ නිලවරනයෙදී ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න විමසීම අගවිනිසුරු අල්තමාස් කබීර් විසින් නීතිවේදී වෙනෝගෝපාල් ඇතුළු කමිටුවට පවරන ලද වගකීමයි.

නීතිවේදී සංගමයේ සභාපති පදවිය සඳහා අගර්වාල් නීතිඥවරයා ද තරඟ කොට තිබෙන අතර, ඔහු පුවත්පතට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් නීතිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීම පිලිබඳ නොතීසි නිකුත් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.