බ්‍රිතාන්‍ය මන්ත්‍රී යුක්තිය පතා කොළඹ යයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 7 බ්‍රහස්පතින්දා - 15:13 GMT

ඝාතනයට ලක්වූ කුරාම් ෂෙයික් ගාසා තීරයේ සේවය කරමින් සිටියදී

ශ්‍රී ලංකාවේදී ඝාතනය කැරුණු බ්‍රිතාන්‍ය පුරවැසියකු සම්බන්ධයෙන් පහළොස් මසක් තිස්සේත් නොලද යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු කොළඹ බලා ගොස් සිටී.

රොච්ඩෙල් පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන්චුක් දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් ඇත්තේ ඇත්තේ 2011 නත්තල උදාවේ තංගල්ල සංචාරක නිකේතනයකදී ඝාතනය කැරුනු කුරාම් ෂෙයික් ගේ සහෝදරයා නසීර් ෂෙයික් ද කැටුව.

ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසියේ කුරාම් ෂෙයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්රෝව්නා සමගින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී.

දේශපාලන සබඳතා

ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු අට දෙනකු පසුව ඇප මත මුදා හරින ලදී.

සයිමන් ඩන්චුක්

ටික කලකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත් හිටවනු ලැබූ සම්පත් චන්ද්‍රපුෂ්ප තවමත් ප්‍රාදේශීය සභා සභාපති ධුරයේ කටයුතු කරමින් සිටී.

ප්‍රධාන චුදිතයා ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු වන හෙයින් යුක්තිය ඉටුවීම පමා කැරෙන බවයි බ්‍රිතාන්‍ය මන්ත්‍රී වරයාගේ චෝදනාව.

"නීතිය ක්‍රියාත්මක කරන බව පැහැදිලිව දැක ගත නොහැකි නම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව වර්ජනය කළ යුතු," බවයි සයිමන් ඩන්චුක් මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.

ඩී එන් ඒ සාක්ෂි

වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය කැපවී සිටින බව කියන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට 'හැකි සෑම උත්සාහයක්ම දරා ඇතැ'යි නිවේදනයකින් දැනුම් දී තිබේ.

අපේක්ෂිත ඩී එන් ඒ සාක්ෂි ඇතුලත් වාර්තාවක් ලැබුණු පසු අධිකරණ කටයුතු ආරම්භ කිරීමට 'සියලු සැලසුම් යොදා' ඇති බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.