සිරියාවේ දරුණු සටන් - දරුවන් ඇතුළු පනහකට වැඩි පිරිසක් මරුට

සිරියානු හමුදාවත් එයින් පලා යන අයත් අතර දකුණු දිග ඩෙරා (Deraa) ප්‍රාන්තයේ සටන් වලින් බරපතල පුද්ගල හානි සිදු වෙයි.

ක්‍රියාධාරීන් පවසන පරිදි දරුවන් හය දෙනකු සහ දෙපාර්ශවයේම සටන්කරුවන් ඇතුළුව මරුමුවට පත්වී තිබෙන සංඛ්‍යාව අඩුම වශයෙන් පනස් හත් දෙනෙක්.

ඔවුන් කියා සිටින්නේ රජයේ සේනා හැර පලා ගිය පිරිසක්, ඩෙරා ප්‍රාන්තයේ විරුද්ධ පක්ෂය හා එක්වීමෙන් දිනකට පසු, හමුදාව විසින් ප්‍රහාරය ආරම්භ කළ බවයි.

ජනාධිපති අසාද් ගේ රජයට එරෙහිව දෙවසරකට ඉහතදී කැරළි පටන් ගත් මේ පළාත, දමස්කස් අගනුවර බලා යන මාර්ගය අත් පත් කරගන්නට වීරිය කරන කැරලි කරුවන් හට උපායික මර්මස්ථානයක්.

Human Rights Watch මානව හිමිකම් සංවිධානය මීට ඉහතදී චෝදනා කර තිබූ පරිදි සිරියානු රජය කිසිදු වග විභාගයකින් තොරව මෙන්ම හිතා මතාමත් සාමාන්‍ය වැසියන් මත්තේ ගුවන් බෝම්බ හෙළමින් සිටී.