ගැටුම්කාරී යුද උණුසුම සමහන් කර ගැනීමේ සංවාදයකට එක්වන්න - චීන නායකත්වය

කොරියානු අර්ධද්වීපයේ උද්ගතව පවතින ගැටුම්කාරී යුද උණුසුම සමහන් කර ගැනීමේ සංවාදයකට එක්වන්නැයි, චීන නායකත්වය ඉල්ලා සිටියි.

බේජිං නායකයන් එවැනි ඉල්ලීමක් කළේ , චීනයේ සංචාරයක නිරත වෙමින් සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදීයි.

ගැටුම්කාරී තත්වයක් උත්සන්න වෙමින් පැවැතීම කිසිවකුගේ උවමනාව නොවන බව කියා සිටි චීන විදේශ ඇමති වැන්ග් යී (Wang Yi), සාමය සහ න්‍යෂ්ටික නිරවිකරණය සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලීමක් ද කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදු කෙරෙන බලපෑම් සම්බන්ධයෙන්, යුදමය තර්ජනයක් මගින් ප්‍රතිචාරය පළකරන සිය උතුරු කොරියානු සගයා, එවැනි ක්‍රියා මාර්ගයකින් වළක්වා ගන්නැයි වොෂින්ටන් බලධාරීන් චීනයෙන් ඉල්ලා සිටියේය.

චීනය පෙන්වා දෙන්නේ, සාමය සහ ස්ථාවරභාවය සහතික කර ගැනීම සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි.

උතුරු කොරියාවට එරෙහිව කලාපීය හවුළක් ගොඩ නඟා ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, "පියෝන්ග් යැන්ග්" පාලනය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩ සටහණ අත්හැර දැමුවත් පමණක් සාකච්ඡා සඳහා එකඟ වෙන බවයි.