මරණ දඬුවම සම්බන්ධ ඉන්දීය තීන්දුව නීති ක්ෂේත්‍රයේ අවධානයට

Supreme Court of India
Image caption දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය

මරණීය දණ්ඩනයට නියමව දශකයකට අධික කාලයක් සිටින දවින්දර් පල්සින්ග් බුල්ලාගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සමක් ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඉන්දීය නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් වී තිබේ.

දඬුවම නියම කොට, මෙතරම් කාලයක් සිරගතව සිටීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට වෙනස් කිරීමට එයම ප්‍රධාන හේතුවක් බවයි ඔහුගේ නීතිවේදීන් ගේ තර්කය වී තිබුණේ.

එම තර්කය බැහැර කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව තීන්දු කළේය.

'අමානුෂික තීන්දුවක්'

දවින්දර් ගේ බිරිඳ නව්නීත් එය විග්‍රහ කළේ අමානුෂික තීන්දුවක් ලෙසින්.

"මේ වගේ දේකට කාල සීමාවක් තියෙන්න ඕනේ. ජනාධිපති කියන්නෙත් මනුස්සයෙක්. අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීන්දු ගන්න එයාට සිද්ද වෙලා තියෙනවා," ඇය පවසන්නීය

"මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා තමයි. ඒත් එයා දැන් හොඳටම අසනීපෙන්. ඇත්තටම එයා මැරී මැරී ජීවත්වෙන්නේ."

මරණීය දණ්ඩනයට නියමව ඉන්දියාවේ සිරගතව සිටින අනෙක් ඉන්දීය සිරකරුවන් 17 දෙනාට එකී තීන්දුව කෙසේ බලපාවිද යන්න පැහැදිලි නැතත් දඬුවම නියමව සිටින තවත් හත් දෙනකු වෙනුවෙන් මෙවැනිම පෙත්සම් ඉදිරපත් කොට තිබෙන නීතිවේදීහු දැන් තීන්දුවේ බලපෑම පිළිබඳව අධ්‍යනය කරමින් සිටිති.

රජීව් ගාන්ධි ඝාතනය

එයින් තිදෙනකුට මරණ දඬුවම නියමව තිබෙන්නේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ වීම හේතුවෙන්.

කර්ණාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත දෙවනත් කළ වීරප්පන් සමඟ එක්ව අපරාධවල යෙදීම අනෙක් සිවුදෙනා දඬුවම් ලැබීමට හේතුවයි.

වසර අටකට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යලි ඇරඹීම පිළිබඳව ඉන්දියාව මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

පසුගිය මාස හය ඇතුලත මරා දමනු ලැබූ පුරුෂයන් දෙදෙනාම රාජ්‍යයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනු බවට චෝදනා ලැබූවන්.

2008 දී මුම්බායි ප්‍රහාරය එල්ලකල මොහමඩ් අජ්මල් කසාබ් ඉන් එක් අයෙක්. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු කාශ්මීර ජාතික අෆ්සාල් ගුරු එල්ලා මරා දමන ලද අනෙක් පුද්ගලයායි.

පසුගියදා දිල්ලි නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා ලැබූවන්ට පැණවෙන දඬුවම කවරක් වනු ඇත්දැයි ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරවද විමසුම් ඇස යොමු වී තිබෙන බව දකුණු ආසියානු කටයුතු භාර බීබීසී යේ සංස්කාරකවරිය ජිල් මැගිවරින් මේ අතර සඳහන් කරන්නීය.