ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කිරීමේ යෝජනාවක්

commonwealth flags

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කිරීම සඳහා වූ යෝජනාවක් ඉහළ පෙළේ නීතී සංගම් තුනක් රැස්වෙන සමුළු වාරයක න්‍යාය පත්‍රයට ඇතුලත් කොට ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතීවේදීන් , නීතී අධ්‍යාපනඥයයින් සහ විනිසූරුවරුන්ගේ සංගමය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි රැස්ව සිටින අතර එහිදී සාකච්ඡාවට ගැනෙන මෙම යෝජනාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලධර්ම වලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීමේදී සලකා බැලිය යුතු බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීම අප්‍රේල් මස විසි හය වෙනිදා පැවැත්වීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තුලින් පොදු රාජ්‍ය මණ්ඩලයේ කීර්ති නාමය කෙලෙසෙන බවයි නීතී සංගම් පෙන්වා දෙන්නේ.

අධිකරණ නියෝගයට පිටුපාමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යට ගරු නොකරන රටක් සේ ප්‍රචලිත වීමේ හේතුවෙන් මේ තත්වය උදා වී ඇතැයි ආසියානු මානව හිමිකම් සංවිධානයේ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේය.

" ජාත්‍යාන්තර මට්ටමේ ඉතා බලවත් නීති සංවිධාන තුනක් ශ්‍රී ලංකාවට ප්‍රබල පණිවිඩයක් ලබා දී තිබෙනවා" යැයි බැසිල් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය.