ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක ගින්නක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර නිපදවන කම්හලක හටගත් ගින්නක් නිසා ඇති වූ පිපිරීමකින්, පහළොස් දෙනකු පමණ මරණයට පත්ව ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

තවත් එකසිය හැටකට අධික පිරිසක් තුවාළ ලබා ඇති බව ටෙක්සාස් පොලිස් වාර්තා මගින් ප්‍රකාශ වන්නේ.

පිපිරීම සිදුව ඇති කුඩා නගරයේ පුරපතිවරයා පවසන්නේ, න්‍යෂ්ටික පිපිරීමෙන් පසු හත්තක හැඩය ගත් විශාල දුමාරයක් ඉහළ නැගෙමින් තිබුන බවයි.

එම දුමාරය නිසා මහජන ජීවිතවලට අනතුරක් නැති බවයි ටෙක්සාස් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොලිස් ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, පිපිරීම වූ ස්ථානය සාපරාධී ක්‍රියාවක් සිදුවුන තැනක් හැටියට සළකන නමුත්, සාපරාධී ක්‍රියාවක ළකුණු තවමත් හමු වී නැති බවයි සඳහන් කළේ .

පොහොර කම්හල අවට ගෙයක් ගෙයක් පාසා පරීක්ෂා කොට නිමවන තෙක්, බේරා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුකෙරෙන බවත් එම පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේය.