බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ දෙවැනි සැකකරුවා අත්අඩංගුවට

‘බොස්ටන්’ මැරතන් ධාවන තරඟයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි දෙවැනි තරුණයාත් අත්අඩංගුවට ගැනීමත් සමග ඇමරිකානු ඉතිහාසයේ තවත් විශාලතම ආරක්ෂක මෙහෙයුමක් අවසන් විය.

දහ නව හැවිරිදි , ෂොකාර් ට්ෂානායෙෆ් (Dzhokhar Tsarnaev) නමැති සැකකරුවා නිවෙසක වත්තක් පිටුපස තිබූ බෝට්ටුවක සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

බිම වැටුණු ලේ පැල්ලම් හෝඩුවාවන් ඔස්සේ නිවෙස් හිමිකරුවා සෝදිසි කරමින් ගිය අතර පසුව බෝට්ටුව වසා තිබූ කැන්වස් රෙද්ද ඉවත් කර බැලූ විට තුවාල ලැබූ සැකකරුවා සැඟවී සිටිනු දැක ගන්නට හැකිවී තිබේ.

චෙචේන් ජාතිකයකු වන එම තරුණයා වෙඩි හුවමාරුවකින් පසුව අත්අඩංගුවට ගත් අතර බරපතල ලෙස තුවාල ලැබූ ඔහු රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගැණීමෙන් පසු සැකකරුවා රැගෙන යන විට පළාත් වාසී ජනතාව ප්‍රීති ඝෝෂා නගා සතුට පල කොට තිබේ.