සිරියාවේ වයඹ මුහුදුබඩ කලාපයේ ඝාතන තොරතුරු අනාවරණය වෙයි

බනියාස් (Banias) නගරය අවට, සිරියාවේ වයඹ මුහුදුබඩ කලාපයකදී, ආණ්ඩුවේ හමුදා සහ 'අලාවිට්' (Alawite) සන්නද්ධ ප්‍රහාරකයන් විසින් සිදු කරන ලදැයි පැවසෙන ජන ඝාතනයට අදාළ තවත් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

සිකුරාදා සහ සෙනසුරාදා දින දෙකෙහි 'බනියාස්' නගරයේ සුන්නි ඉස්ලාමීය ප්‍රජාව වෙසෙන ස්ථානයන්හි, හැත්තෑ හත්දෙනකුවත් මරා දමා ඇති බවට තමන් තොරතුරු එක්රැස් කර ගෙන ඇති බවයි, ක්‍රියාකාරී කණ්ඩායම් පවසන්නේ.

බ්‍රහස්පතින්දා , අල් - බෙය්දා (al-Beida) සුන්නි මුස්ලිම් ගම්මානය අසලදී, තවත් හැත්තෑවකට අධික පිරිසක් මරා දමා තිබිණ.

ජංගම දුරකථන මගින් ගත්, මෙතෙක් තහවුරු නොකෙරුණ ඡයාරූප කීපයක් අන්තර්ජාලයේ පළ කොට ඇති අතර, එම ඝාතනයට ගොදුරු වූ බිලිඳු දරුවකු, කුඩා ළමුන් සහ කාන්තාවන්ද මළසිරුරු අතර දක්නට ලැබේ.

කුඩා බිලිඳා ගේ දෙපා හඳුනා ගත නොහැකි මට්ටමින් පුළුස්සනු ලැබ ඇති බවයි, එම ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙන්නේ.

මේවන විට පවුල් සිය ගණනක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටත් වාර්තා වෙයි.

මේ අතර, ඉහත කී කලාපයේ සිදු කෙරෙන යුද මෙහෙයුමක් ගැන සිරියානු රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය..

එම ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් අල්ලා ගත් බවයි, සිරියානු රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ.