බුරුම ජනාධිපති සහ බරක් ඔබාමා අතර හමුවක්

Thien Sein
Image caption බුරුමයේ ප්‍රතිසංස්කරණ පෙරට ගෙනයාම පිණිස ජනාධිපති තේන් සියැන් දිරිගැන්විය යුතු බව ඇමරිකාවේ විශ්වාසයයි

බුරුම ජනාධිපති තේන් සියැන් (Thein Sein) අද ජනාධිපති බරක් ඔබාමා මුණ ගැසීමට නියමිතයි.

අවුරුදු පණහකට ආසන්න කාල සීමාවක් ඇතුළත, බුරුම නායකයෙක් වොෂිංටනයේ ධවල මන්දිරයෙහි සංචාරයක නිරත වෙන පළමු අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා තත්වයක පැවැති බුරුමය, යුද හමුදා පාලනයකින් මිදී ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයකට අවතීර්ණ වූ සැණින්, එරට පුනරුත්ථාපනය සඳහා ඔබාමා පරිපාලනය කඩිනමින් යොමුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන කෙරෙන් විවේචන එල්ල වී ඇත.

එහෙත් ඇමෙරිකානු නිලධාරීන්ගේ විශ්වාසය වන්නේ, බුරුමය තුළ ආරම්භ කරනු ලැබ ඇති ප්‍රතිසංස්කරණ පෙරට ගෙනයාමෙහි ලා ජනාධිපති තේන් සියැන් (Thein Sein) දිරිගැන්විය යුතුව ඇති බවයි.

බුරුම ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයේදී, තම රටට එරෙහිව දැනට බලපැවැත්වෙන සම්බාධක ඉවත් කර ගනු ලැබීමේ උත්සාහයක නිරත වනු ඇතැයි ද මාධ්‍ය මගින් වාර්තා කෙරිණ.