මැලේසියානු පොලිසිය විපක්ෂය දඩයමේ

මැලේසියානු පොලිසිය විපක්ෂයේ මුල් පෙළේ ක්‍රියාධරයන් තුන් දෙනකු අත් අඩංගුවට ගත් බව නිවේදනය කෙරිණ.

පසුගිය මාසයේ පැවැත්වුන මැලේසියානු මහමැතිවරණය ප්‍රෝඩාවන්ගෙන් පිරුන එකකැයි චෝදනාකරමින්, මහජන උද්ඝෝෂණ දියත් වීමෙන් අනතුරුව ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ද අත් අඩංගුවට ගනිමින්, ඔහුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පවරා ඇති බවක් ද වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර, පුවත්පත් කාර්යාල වලට කඩා වැදුන පොලිසිය විපක්ෂයේ පුවත්පත්වල පිටපත් දහස් ගණනින් පැහැර ගෙන ගිය බවයි මැලේසියානු වාර්තාවන්හි දැක්වෙන්නේ.

Image caption ගෝවින්දසාමි මනිවන්නන්

මැලේසියාවේ මහජන යුක්තිය පක්ෂයේ මන්ත්‍රී ගෝවින්දසාමි මනිවන්නන් බීබීසියේ දෙමළ සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, විපක්ෂ සන්ධානයේ නායකයන් පොලිස් දඩයමට ගොදුරු කර ගනිමින් පවත්නා බවයි.

පොලිස් අත් අඩංගුවේ පසුවෙන ක්‍රියාධරයන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, මැලේසියානු විපක්ෂ සන්ධානයේ ජ්‍යෙෂ්ට නායකයකු වන චෑන් චුආ ද (Tian Chua) සිටිනවා.

මෙවර මහ මැතිවරණයේදී මැලේසියානු විපක්ෂ සන්ධානය පෙරට ආවත්, ආණ්ඩුව පරාජය කිරීමට ඔවුන් අපොහොසත් වුණි .

රාජද්‍රෝහී චෝදනාවලට මුහුණ දී සිටින ශිෂ්‍ය ක්‍රියාධරයා අධිකරණය ඉදිරියේ කියාසිටියේ ඔහුට එරෙහි චෝදනාවලට තමා නිවැරදිකරු වන බවයි.