ආරක්ෂක අංශ වුලිච් ප්‍රහාරකයන් 'දැන සිටියා'

දකුණු ලන්ඩනයේ 'වුලිච්' කලාපයේදී යුද හමුදා භටයකු මරා දැමීම හෙලා දුටු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ප්‍රහාරකයන් දෙදෙනා විසින් ඉස්ලාම් දහම පාවා දෙනු ලැබ ඇතැයි ප්‍රකාශ කළේය.

බදාදා ඝාතනයෙන් දවසකට පසුව ප්‍රකාශයක් කළ අගමැති කැමරන්, අන්තවාදී අභියෝග සහ ත්‍රස්තවාදය පරාජය කරන බවත් කියා සිටියි.

මරා දමා ඇත්තේ දෙවැනි රාජකීය ලුහු තුවක්කු බලකායේ බෙර වාදකයකු වන ලී රිග්බි එක් දරු පියායි.

Image caption ලී රිග්බි

'වුලිච්' සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනී යන්නේ යයි සඳහන් කරන බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ජාතික ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට ද පියවර ගත්තේය.

වාර්තා මගින් පැවසෙන ආකාරයට ප්‍රහාරකයන් දෙදෙනා පිළිබඳව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ වලට පූර්ව දැනුමක් තිබී ඇත.

ආරක්ෂක අංශවලට ඔවුන් සම්බන්ධයෙන් කොතරම් දැනුමක් තිබුනේද යන්න තහවුරු කර ගැනීමේ උත්සාහයක නිරත වෙන බවයි, ආරක්ෂක කටයුතු පිලිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාව පවසන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තරුණයකු, තමන් එවැනි පියවරක් ගත්තේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් මුස්ලිම්වරුන් දිනපතාම මරා දමන නිසා යයි පවසනු මහමග සිටි අයකු විසින් වීඩියෝගත කර තිබුණි.

Image caption සැකකරුවන්

ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන් පවසන්නේ, සොල්දාදුවාගේ මරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට වරද පැටවිය නොහැකි අතරම,එම ඝාතනය සහ බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තිය අතර සම්බන්ධයක් දැකීම වරදක් බවයි.

ඉස්ලාමීය සංවිධාන

'වුලිච්' ප්‍රහාරය එල්ල කෙරුණ මොහොතේ වීඩියෝ ගත කරනු ලැබ අත් අඩංගුවට ගනු ලැබ සිටින එක් තරුණයෙක්, ඔවුන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් පාපෝච්චාරණයක් කරන බවයි වාර්තාවන්නේ.

ඔහු, එසෙක්ස් ප්‍රදේශවාසියකු වන මයිකල් අදෙබොලායෝ (Michael Adebolajo) යයි හඳුනා ගෙන ඇත.

මයිකල් අදෙබොලායෝ, 2001 වසරේ සිය ද්විතීයික අධ්‍යාපනය නිමාවේ ඉස්ලාම් දහම වැළඳ ගත්තකු බවත් ප්‍රකාශ කෙරිණ .

තට්ටු නිවාසයකට කඩා වැදුන බ්‍රිතාන්‍ය පොලිසිය, ප්‍රහාරය සම්බන්ධයෙන් කාන්තාවන් තුන් දෙනකුගෙන් සහ ළමයකුගෙන් ප්‍රශ්න කළ බවත් වාර්තා විය.

ඊයේ බදාදා ප්‍රහාරයට සම්බන්ධ තරුණයන් දෙදෙනාම නයිජීරියානු සම්භවයක් සහිත අය බවත් ප්‍රකාශ කෙරිණ.