ඉරාකයේ මැයි මාසයේ පමණක් දහසක් මිය යති

ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය මැයි මාසය තුළ පමණක් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන් කියා සිටී.

තවත් දෙදහස් හරසීයකට වැඩි පිරිසකට තුවාල සිදුවී ඇති බවයි එම සංවිධානය වාර්තා කරන්නේ.

2006 සහ 2007 වසර වල ඉරාකය පුරා පැතිරගිය නිකාය වාදී ගැටුම් ආරම්භ වීමෙන් පසු මෙතරම් ඝාතන ප්‍රමාණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

මේ නිසා ඉරාකය යළිත් සිවිල් යුද්ධයක මුව විටට පැමිණ ඇති බවට බියක් පලවෙමින් තිබේ..

මෙය කණගාටු දායක වාර්තාවක් යයි කියා සිටි බැග්ඩෑඩ් අගනුවර සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ටින් කොබ්ලර් මෙවැනි ලේ වැගිරවීම් නවතා දැමීම සඳහා වහා පියවර ගන්නා ලෙස ඉරාක දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ගතවූ මාස කිහිපය තුළ ඉරාකයේ සුන්නි සහ ෂියා ඉස්ලාම් ජනකොටස් වෙසෙන ප්‍රදේශ බෝම්බ ප්‍රහාර ගණනාවකට ලක් විය.