ආණ්ඩුවෙන් අයින් වෙන්න - එජාපය හෙළ උරුමයට කියයි

  • 2013 ජුනි 2
UNP proposal for a new constitution
Image caption බලය බෙදීම පිලිබඳ විවෘත සංවාදයකට තමන් සූදානම් බව එජාපය පවසයි

බලය විමධ්‍යගත කිරීම සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දුන් පොරොන්දු ඉටු කිරීමට විරුද්ධ නම් ඉල්ලා අස් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකට අභියෝග කරයි.

එජාප සභාපති ජෝසෆ් මයිකල් පෙරේරා ඒ බව කියා සිටියේ, පළාත් සභා වලට බලතල පැවරීම නීතිගත කොට ඇති දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එන පරිදි පොලිස් හා ඉඩම් බලතල මෙන්ම පළාත් දෙකකට හෝ වැඩි ගණනකට ඒකාබද්ධ වීමට සලසා ඇති ඉඩ කඩ අහෝසි කරන මෙන් යෝජනා කරමින් ජාතික හෙළ උරුමය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පණත පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේ.

"ඕක රජයේ එකක් හැටියටයි ඉදිරිපත් කරන්න තිබුනේ හෙළ උරුමය බොහොම සුළු පක්ෂයක්. අපි හෙළ උරුමයට කතා කරනවා අපි එක්ක කතා කරන්න කියල ඕක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල," ඔහු පැවසීය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය

ජෝසෆ් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ "රැඩිකල් වෙනසක්" මැයෙන් එජාපය විසින් පසුගිය සතියේ එලි දක්වන ලද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධ යෝජනාවලිය පිළිබඳව කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුවේ පාර්ශවකාර හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට ලක් වී තිබෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ එජාපයේ ස්ථාවරය විමසූ අවස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ, බලය බෙදීම පිලිබඳ විවෘත සංවාදයකට පක්ෂය සූදානම් බවයි.

විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ අත්සන් තබන ලද ගිවිසුම, එමෙන්ම 2009 දී ශ්‍රී ලංකාව විසින් එජා මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනා, තිස්ස විතාරණ කමිටු වාර්තාව සහ උගත් පාඩම් කොමිසම් වාර්තාව මත පදනම් වී සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ස්ථාවරයකට එළඹීම පිණිස පක්ෂයේ යෝජනා මාලාව මගින් සංවාදයකට දොරටු විවෘත කොට තිබෙන බව ඔහු සඳහන් කළේය.

යලිත් වරක් ජනතාවට පරමාධිපත්‍යය පවරා දීම සිය යෝජනාවලියේ මූලික අභිප්‍රාය බැවින්, මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමේදී ගතයුතු පියවරද එයට ඇතුලත් බවත් එජාපය පවසයි.

"රැඩිකල් වෙනසක්" යෝජනාවලියේ මූලික කාරණා පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, යලිත් වරක් පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින්, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කරමින්, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ සිය ව්‍යායාමය සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එක්වන්නැයි එජාපය සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර