රුසියාවේ ජනාධිපති පූතින් දික්කසාද වෙයි

Vladimir & Ludmila Putin
Image caption පූතින් පවුලේ දික්කසාදය රුසියාවේ ජනතාව අතර කම්පනයක් ඇති කරන ලද බව වාර්තාකරුවෝ පවසති

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සහ ඔහුගේ බිරිඳ ලුද්මිලා දික්කසාද වන බව නිවේදනය කෙරුණි.

එම දික්කසාදය සිදුවන්නේ දෙපාර්ශ්වයේ එකඟතාවය අනුව බවත් ප්‍රකාශ වෙයි.

එම එකඟතාවය ප්‍රකාශයට පත්කරමින් රුසියානු රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ ,ජනාධිපති පූතින්ගේ විවාහය කෙලවර වී ඇති අතර ඔහු සහ බිරිඳ ලුද්මිලා ඔවුනොවුන්ගෙන් වෙන්වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලුද්මිලා පූතින් කියා සිටියේ,සිය විවාහ දිවියේ සමාප්තිය අන්‍යෝන්‍ය එකඟතාවය මත ගත් තීන්දුවක් වන අතර,නීතිය අනුව ඔවුන්ගේ දික්කසාදය සිදුකෙරෙන බවයි.

ජනාධිපති පූතින් සහ ලුද්මිලා පූතින් ඔවුන්ගේ විවාහ දිවියේ අවසානය ප්‍රකාශයට පත් කළේ, මොස්කව් නගරයේදී බැලේ රංගනයක් නැරඹීමෙන් පසුවයි.

තමා සහ සැමියාට නිතර හමුවීමට කාලවේලාවක් නොවූ බව සඳහන් කළ ලුද්මිලා පූතින්, වැඩිදුරටත් කියාසිටියේ, ඔවුන් දෙදෙනාටම වෙනත් ජීවිත පැවැති බවයි.

එක්දහස් නවසිය අසූ තුනේ වසරේ විවාහ වූ පූතින් යුවළ දියණියන් දෙදෙනකුගේ දෙමව්පියන් වන අතර, එම දරුවන් වයස අවුරුදු විසිගණන්වල පසුවෙන බවත් ප්‍රකාශ වෙයි.

ජනාධිපති පූතින්ගේ විවාහ දිවිය පිලිබඳ විවිධ කටකතා පැතිර තිබුන නමුත්, පූතින් පවුලේ දික්කසාදය රුසියාවේ ජනතාව අතර කම්පනයක් ඇති කරන ලද බවයි, මොස්කව් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.