දේශපාලන රැකවල් ලබාදීමේ ස්විස් නීතිය දැඩි වෙයි

ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවල් ලබාදීමේ නීතිය තර කිරීම සඳහා එරට බහුතර ජනතාවගේ සහයෝගය ලැබී ඇතිබව පෙනෙන්නට තිබේ.

පසුගිය සැප්තැම්බරයේදී ඉහත කී නීතියේ සිදුකළ වෙනස්කම් පිළිබඳව පැවැත්වූ ජනමත විචාරණයේ පළමු ප්‍රතිඵලවලට අනුව, ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට අසූවක් පමණ එය අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

හමුදාවෙන් පලායාම, මින් ඉදිරියට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතීම සඳහා හේතුවක් වශයෙන් ඉදිරිපත් කළ නොහැකි වන අතර නව නීතිය යටතේ වෙනත් රටක සිට අයදුම් කිරීමට තිබූ නිදහසටද වැට බැඳීමට නියමිතයි.

'භයානක පූර්වාදර්ශයක්'

Image caption නව නීතිය යටතේ වෙනත් රටක සිට අයදුම් කිරීමට තිබූ නිදහසටද වැට බැඳීමට නියමිතයි.

මෙමගින් 'භයානක පූර්වාදර්ශයක්' සපයන බව දේශපාලන රැකවරණ පතන්නන් වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේය.

ස්විට්සර්ලන්තය මේ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළේ එරට මානව හිමිකම් මණ්ඩල සහ වාමාංශික පක්ෂ එක්වී කළ ඉල්ලීමකින් අනතුරුවයි.

ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව පසුගිය දස වසර තුළ මහා පරිමාණයෙන් ඉහල ගොස් තිබේ.