තුර්කි ආණ්ඩුව සහ විරෝධතාවාදීන් අතර අවබෝධතා ගිවිසුමක්

turkey protests
Image caption පැය හතරක සාකච්ඡාවලට හවුල් වූ 'තක්සිම්' සහයෝගීතා හවුලේ නියෝජිතයන් පවසන්නේ,ඔවුන්ගේ හමුව පලදායී එකක් වූ බවයි.

ඉස්තාන්බුල් නගරයේ විරෝධතා ව්‍යාපාර ගෙන යමින් සිටින ජනතාව සමඟ අවබෝධතාවයක් ඇතිකර ගත් බව තුර්කි ආණ්ඩුව ප්‍රකාශ කරයි.

තුර්කි අගමැති රෙසිප් ටය්යිප් එර්දොවන් (Recep Tayyip Erdogan) විසින් කැඳවා තිබුන සාකච්ඡා මේ වනවිට නිමවී ඇති අතර,ඉන්පසුවයි දෙපාර්ශවය අතර අවබෝධතා වැඩ පිළිවෙලක් ඇති වුන බව නිවේදනය කෙරුනේ.

ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්,ඉස්තාන්බුල් නගරයේ 'ගෙෂි' උයනේ (Gezi Park)සංවර්ධන සැලසුම් එම ඉදි කිරීම්වල නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් අත් හිටවනු ලබන බවයි කියා සිටියේ.

අදාළ කාරණය ඉන් අනතුරුව ඡන්දයකට යොමුකළ හැකියි.

'අන්කාරා' නගරයේදී තුර්කි ආණ්ඩුවත් සමඟ පැය හතරක සාකච්ඡාවලට හවුල් වූ 'තක්සිම්' සහයෝගීතා හවුලේ නියෝජිතයන් පවසන්නේ,ඔවුන්ගේ හමුව පලදායී එකක් වූ බවයි.

තුර්කි අගමැතිවරයා විරෝධතාවාදීන්ගේ නියෝජිතයන් මුණගැසීමට පියවර ගැනීම, සුවිශේෂී තීන්දුවක් වන බවයි වාර්තාකරුවන් පවසන්නේ.එහෙත් බොහෝ කාරණා තවමත් නොවිසඳුන තත්වයක පවතින බවත් වාර්තා කරුවෝ පවසති.