දුගී බව තුරන් කිරීමට දේශපාලන හා ආර්ථික අස්ථාවර බව බාධාවක් - ආසියානු සංවර්ධන බැංකුව

ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සමහර රටවල පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවර බව මෙන්ම ස්වභාවික උවදුරු වලට ලක්වීමේ අවදානම, කලාපයේ දුගී බව තුරන් කිරීම සඳහා ගැනෙන උත්සාහයන්ට බාධා පමුණුවන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

ලෝක ජනතාවෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ මුලික ආරක්ෂාව පවා සහතික නොවන මෙන්ම අස්ථාවර හා ගැටුම් වලින් හානියට පත් ප්‍රදේශ වල බවයි ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවක ඳහන් වන්නේ.

ආර්ථිකය, යටිතල පහසුකම් මෙන්ම වෙළඳ කටයුතු සඳහා රෙගුලාසි ආදිය තහවුරු නොවීම, අස්ථාවර බවට බලපාන කරුණු කීපයක් ලෙසට ඉදිරිපත් කොට තිබේ.

ඉදිරි දෙවසර අවසානයේදී ලෝකයේ අඩුම ආදායම් ලබන්නන්ගෙන් අඩක් පමණ මෙම රටවල ජිවත් වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙවැනි තත්වයන් ඇතිවීමට අභ්‍යන්තර ගැටුම් විශේෂයෙන්ම බලපාන අතර දේශගුණ වෙනස්වීම් වැනි බාහිර කරුණුද හේතු පාදක වෙන බව ආසියානු සංවර්ධන බැංකුවඑම බැංකුව වාර්තාව පෙන්වා දෙයි.

ගැටුම් ඇති ප්‍රදේශ

ගැටුම් වැඩිපුරම වාර්තා වන්නේ ආසියානු රටවලයි. ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ තිමෝරය ද එම රටවල් අතර ට එක්වේ.

වෙනම රටක් හෝ ප්‍රදේශයක් වෙනුවෙන් නිතරම සිදුවන යුද්ධ ආසියාවේ සමස්ත ආර්ථිකය වෙනත් අතකට යොමුකිරීමට තවම සමත් වී නැතත්, සංවර්ධනයට සහ ස්ථායිතාවට එමගින් තර්ජන එල්ල කෙරෙන බවයි ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ.

සාමය ස්ථාපානය කිරීමේ හා දිළිඳු බව අඩුකිරීමේ විශාල බාධකය මෙන්ම අභියෝගය ලෙසද ඔවුන් සඳහන් කරන්නේ එම රටාවල පවතින අස්ථාවර භාවයයි.

ලැබෙන ආරක්ෂාව අවම වීම හේතුවෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මේ රටවල ජිවත් වීම අනතුරුදායක බව ද ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවෙන් පෙන්වා දෙයි.

තීරණාත්මක කරුණු

දුප්පත්ම රටවල් වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ අග්නිදිග ආසියාවේ බවටද හඳුනා ගෙන තිබේ.

තිමෝරය, කිරිබති, පැපුවා නිවු ගිනීයා මෙන්ම ඇෆ්ගනිස්ථානය අති දුගී රටවල් රටවලින් කීපයක්.

නැවත සංවර්ධනයක් කරා ලඟා වීමට මේ රටවලට අවුරුදු විස්සත් හතළිහත් අතර කාලයක් ගත වන බවත්, රටේ නායකත්වය, ජනතා සහභාගිත්වය හා රටේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවට ලැබෙන අයිතිය මෙහිදී තීරණාත්මක කරුණු ලෙස බලපානු ඇති බවත් බැංකු වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙයි..