නයිජීරියාවේ සම්ෆාරා ප්‍රාන්තයේ හතලිස් අට දෙනෙක් වෙඩිතබා මරා දැමෙති

තුවක්කු කරුවන් පිරිසක් විසින් උතුරු නයිජීරියාවේ සම්ෆාරා (Zamfara) ප්‍රාන්තයේ ගම්වැසියන් හතලිස් අට දෙනෙකු වෙඩිතබා මරා දමා ඇතැයි නිලධාරීහු පැවසූහ.

යතුරු පැදිවලින් පැමිණි තුවක්කු කරුවන් ඔවුන් ඇස ගැසුණු සියල්ලන්ටම වෙඩි තැබූ බවයි සිද්ධිය දුටුවෙක් පැවසුවේ.

ගවයින් සොරකම් කරන කල්ලියකට අයත් යැයි විශ්වාස කෙරෙන මෙම ඝාතකයින් පසුව ගෙයින් ගෙට ගොස් ගම නායකයා, පල්ලියේ පුජකතුමා හා ග්‍රාමාරක්ෂක ප්‍රධානියා ඇතුළු අයට වෙඩි තබා තිබේ.

මෙය, ගම්වාසීන් විසින් තම ආරක්ෂාව සඳහා පිහිටුවා ගත් ග්‍රාමාරක්ෂක කණ්ඩායම් සහ ගව හොරුන් අතර කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට පෙනී යන බවයි ,නයිජීරියාවේ සිටින බීබීසී වාර්තාකරු සඳහන් කළේ.

අඟහරුවාදා සිදුවූ මෙම වෙඩි තැබීම දැනට උතුරු නයිජීරියාවේ පවතින ආණ්ඩු විරෝධී ගැටුම් වලට සම්බන්ධතාවක් නොමැති ලෙසටයි වාර්තා වන්නේ.