කාඩිෆ් ක්‍රීඩාංගනය ක්‍රිකට් වලින් උණුසුම් වෙයි

මෙයින් අවුරුදු දෙකකට පෙර පැවැත්වුන අයිසීසී ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වුන මුම්බායි,Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එදා පැවතුන තරඟ උණුසුමයි , දැන් මේ මොහොතේ වේල්සයේ කාඩිෆ් අගනුවර සොෆියා ක්‍රීඩාංගනයේ පවතින්නේ.

2011 අප්‍රියෙල් දෙවැනිදා ,එදා මුම්බායි නගරයේදී මුහුණට මුහුණ ලා සටන් වැදුන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අද යළිත් ක්‍රීඩා පිටියට අවතීර්ණව සිටින්නේ තවත් අවසාන මහා තරඟයකට සුදුසුකම් ලැබීමට.

අයිසීසී චැම්පියන්ස් 2013 තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන බර්මින්හැම්හි එජ්බස්ටන් (Edgbastan ) ක්‍රීඩාංගන කරා ඊළඟ පියවර තැබීමයි, අද තරඟ වදින කණ්ඩායම් දෙකේම ඉලක්කය වී තිබෙන්නේ.

දෙපිලේ ශක්තිය

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම ක්‍රිකට් ලෝලීන් දෙරට අතර අද පැවැත්වෙන තරඟය දෙස බලාසිටින්නේ දැඩි අවධානයකිනි.ලොව පුරා මැදහත් ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දැනට ලබා සිටින මහා ජයග්‍රහණ පිලිබඳව ඉහළ ඇගයීමකින් කතා කළත් ,ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ද කිසිදු ලෙසකින් අඩුවෙන් තක්සේරු නොකරමිනි අද ඔවුන්ගේ ක්‍රීඩා විචාර සටහන් සරසා තිබෙන්නේ.

කෙසේ වුවද මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා බර්මින්හැම් බලා යන්නේ අවසන් මහා තරඟය සඳහා දැනටමටත් සුදුසුකම් ලබා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමටයි.ඊයේ බදාදා ලන්ඩන් නගරයේ

ඕවල් පිටියේ පැවැත්වුන අර්ධ අවසාන පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසුවෙන් පරාජය කරමිනුයි, එංගලන්තය අවසන් මහා තරඟයේ තම ස්ථානය සහතික කර ගන්නා ලද්දේ.

අද කාඩිෆ් සටන දෙස යළි බලන විට මෙය ජය පැරදුම තවමත් අවිනිශ්චිත තරඟයක් බව කිව යුතුය.

කණ්ඩායම් දෙකම පන්දුවෙන් සහ පිත්තෙන් සරඹ කොට ක්‍රිකට් ලෝකයේ ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධ වෙති.

මෑත ඉතිහාසය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරඟ එකසිය තිස් නවයකට සහභාගී වී ඇති අතර,ඉන්දියාව ඉන් තරඟ හැත්තෑ පහක් ද ශ්‍රී ලංකාව තරඟ පණස් දෙකක් ද ජය ගෙන ඇත.එම ජය පරාජයන් අතරින් දෙරටේම අමතක නොවන තරඟය 2011 ලෝක කුසලාන තරඟයයි.

අයිසීසී චැම්පියන්ස් ඉතිහාසයේ මින් පෙරත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවැනි තීරණාත්මක තැනකදී හමු වී ඇති අතර,එය 2002 අයිසීසී චැම්පියන්ස් අවසාන මහා තරඟයයි.වැස්ස දින දෙකක්ම බාධා කළ හෙයින් එදා දෙරටට සිදු වුනේ සම ශූරයන් හැටියට ජයග්‍රහණය බෙදා ගැනීමටයි.

2013 මෙම තරඟාවලියේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු තරඟාවල පටන්ම ප්‍රදර්ශනය කරන්නේ අපරාජිතව පෙරට යාමකි.නවක ක්‍රීඩකයන් බහුතරයකින් සැදුම් ලත් ඉන්දීය පිල එංගලන්තයට පැමිණ සිටින්නේ නොබෝදා නිම වූ අයි පී එල් තරඟාවලියේදී ලද පන්නරය සහ ජවය ද රැගෙනයි.

මේ තරඟාවලියේදී 'ඒ' කණ්ඩායමට ඇතුලත් ශ්‍රී ලංකාව පළමු වටයේ තරඟ තුනකට සහභාගී වූ අතර නවසීලන්තයට පරාජය වූ ඔවුහු එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පරාජය කරමිනුයි අවසාන පූර්ව තරඟය කරා ගමන් ගත්තේ.

දැන් තීරණාත්මක තරඟය පෙරට යමින් පවතින අතර, ජයග්‍රාහකයා මේ මස විසි දෙවනදා බර්මින්හැම්හි එජ්බස්ටන් ක්‍රීඩාංගනය කරා ද පරාජිත කණ්ඩායම සියරට කරා ද ගමන් ගනු ඇත.