ඉන්දියාවේ ගංවතුර උවදුර සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීම්

india,floods
Image caption තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ.

උතුරු ඉන්දියාවේ මහා ගංවතුරට කොටුව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ප්‍රයත්නය තවත් දැඩි කොට ඇති බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙන්නේ.

ඉන්දීය ආණ්ඩුව එහි පවතින තත්වය විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ,'ජාතික අර්බුදයක්' හැටියටයි.

ආරක්ෂක හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර,ගංවතුරින් විනාශ වී ගිය මහා මාර්ග සහ පාලම් යළි ඉදිකිරීමේ දුෂ්කර ප්‍රයත්නයක් ද ආරම්භ කොට ඇති බවයි, ඉන්දීය වාර්තා මගින් වැඩි දුරටත් පැවසෙන්නේ.

මෙවර මෝසම් වැසි සමඟ මතු වූ ගංවතුර උවදුර ඉතාම බරපතළ හාණි සිදු කරන ලද 'උත්තර්කාන්ද්' ප්‍රාන්තයේ දිවි බේරුන ජනතාව වෙනත් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනයාමේ විශේෂ දුම්රිය සේවයක් ද ආරම්භ කොට ඇත.

මේ අතර,තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ.

සහන සැපයුම් ආයතන අතර සම්බන්ධීකරණ ඌනතාවයක් ඇති බව ඉන්දීය නිලධාරීන් විසින් පිළි ගනු ලැබ ඇති අතර, උද්ගතව පවතින බරපතළ තත්වය යටතේ ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් 'උත්තර්කාන්ද්'ප්‍රාන්ත මහ ඇමතිවරයාප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙමින් ඇතැයි ද වාර්තා වෙයි.